වින්ඩ්ෆෝර්ස්හි මන්නාරම් සුළං විදුලි ව්‍යාපෘතියේ වියදම රු.බිලියන 3.6කින් ඉහළ ගිහින්

මෙරට ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මගින් මන්නාරමේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 10ක සහ 5ක සුළං විදුලි බලාගාර සඳහා වන ඇස්තමේන්තුගත වියදම පෙර මුදලට වඩා රුපියල් බිලියන 3.6කින් ඉහළ ගොස් ඇතැයි එම සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර තිබේ. එහිදී මූලිකවම අමුද්‍රව්‍ය සඳහා වන මිල ගණන් ඉහළ යෑම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයවීම යන කාරණා හේතු වී ඇතැයිද වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

සමාගම පවසන ආකාරයට මෙම සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා එම සමාගමේ මූලික කොටස් නිකුතුව (IPO) අවස්ථාවේදී ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 3.0ක් (3,090,000,000ක්) බව එම සමාගම පවසයි. එහෙත් ඉහත සඳහන් කළ හේතු නිසා අද වනවිට ඒ සඳහා වන වියදම රුපියල් බිලියන 6.6ක් (6,653,000,000ක්) බවට පත්ව තිබේ. ඒ අනුව මෙය රුපියල් බිලියන 3.6ක ඉහළ යාමක් ලෙස ගණන් බලා ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවිමට තීරණය කර තිබූ එම සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගත් මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 927 (927,000,000) රුපියල් බිලියන 1.66ක් (1,663,300,000ක්) දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මේ තත්ත්වයත් සමගින්ම සමාගම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා සකස් කර තිබූ සමාගමේ සමස්ත ණයගැතිභාවය සහ එහි කොටස්හිමිකරුවන්ගේ වටිනාකම් අතර අනුපාතය (D/E – Debt Equity ration) 70:30 සිට 75:25ක් දක්වා වෙනස් කිරීමට කටයුතු යොදන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තවත් අමතර රුපියල් මිලියන 736ක මුදලක් සම්පාදනය කරගැනීම සඳහා සමාගම සතුව දැනට ඇති තැන්පතු ධනය සහ මූලික කොටස් නිකුතුව මගින් රැස් කරගත් මෙතෙක් උපයෝගී කර නොගත් අරමුදල් යොදවා ගන්නා බවත් සමාගම සඳහන් කරයි.

එහිදී මන්නාරම ව්‍යාපෘති සඳහා මූලිකත්වය ලබා දීමේ අරමුණින් දැනට යෝජිත ව්‍යාපෘති දෙකක් වන EOI Hambanthota සහ Tororo අදියර II ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යම් කාලයකට අත්හිටුවන බවත් එම ව්‍යාපෘති සඳහා වෙන් කර තිබූපිළිවෙලින් රුපියල් මිලියන 119ක සහ මිලියන 617ක මුදල් ඊට යොදා ගන්නා බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වින්ඩ්ෆොර්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක හිරුරැස්පවර් සමාගම යටතේ ක්‍රියාත්මක කෙරේ.

Visits: 180