නව කැබිනට් අමාත්‍යවරුන් 09 ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් අන්තර්වාර රජය යටතේ නව කැබිනට් අමාත්‍යවරුන් නව දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී අද පෙරවරුවේදී ජනපති කාර්යාලයේදී සිදුවිය.

ඒ අනුව නව වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතාත්, වැවිලි අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතාත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාත්, අධිකරණ අමාත්‍යවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතාත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් පත් කෙරී තිබේ.

එසේම සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍යවරයා ලෙස මනූෂ නානායක්කාර මහතාත්, වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස නලින් ප්‍රනාන්දු මහතාත් මෙහිදී ජනපතිවරයා අතින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මෙම පත් කිරීම්ද සමගින් මේ වනවිට නව අන්තර්වාර රජයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ නැග තිබේ. මීට පෙර මහාචාර්ය ජී.එල් පීරිස්, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.

Visits: 78