“උපයාගත් අයුරු පෙන්විය නොහැකි ඩොලර් රුපියල් බවට හරවන්න” – මහ බැංකු අධිපති

මෙරට නේවාසිකයෙකු හෝ ආයතනයක් සතුව ඇති උපයාගත් ආකාරය සනාථ කළ නොහැකි විදේශ විනිමයක් වේ නම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන සති දෙකක කාලයක් ඇතුළතදී ඒවා විදේශ මුදල් ගිණුමක තැන්පත් කිරීම හෝ රුපියල් වෙත හුවමාරු කර බැංකු ගිණුමක තැන්පත් කිරීම හෝ සිදුකළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ(19දා) පැවැති 2022 වසර සඳහා වන සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම දැනට මෙරට පුරවැසියෙකු සතුව පවත්වාගෙන යා හැකි විදේශ විනිමයේ වටිනාකම වන එක්සත් ජනපද ඩොලර් 15,000ක නීත්‍යානුකූල සීමාව ඩොලර් 10,000ක් දක්වා අඩු කිරිමටද අදහස් කරගෙන සිටින බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.

“අද වෙන කොට ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඩොලර් 15,000කට වඩා වැඩි මුදලක් තමන් සන්තකයේ තබා ගැනීම නීතිවිරෝධී දෙයක්. අපි එම සීමාව ඉදිරියේදී ඩොලර් 10,000ක් දක්වා අඩු කිරිමට කල්පනා කරනවා. මේ ඩොලර් 10,000ක වටිනාකමේදීත් එම පුද්ගලයා අදාළ මුදල් උපයා ගත් ආකාරය ගැන සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. එසේ නොවුණොත් අපි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන සති දෙකක සහන කාලයක් තුළදී එම මුදල් ඔවුන්ගේ විදේශ මුදල් ගිණුමක හෝ එම මුදල් රජයට භාරදී එම මුදල් රුපියල් බවට පරිවර්තනය කරගෙන තමන්ගේ රුපියල් ගිණුම්වල පවත්වාගෙන යන්න සිදු වෙනවා.”

මෙහිදී එම මුදල් රජය අත්පත් කරගැනීමක් සිදු නොකරන බවත්, එම මුදල් ඔවුන්ට තමන් සන්තකයේ පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් මෙම සහන කාලසීමාව ඇතුළතදී මේ සම්බන්ධනේ ක්‍රියාත්මක නොවන පුරවැසියන්ට එරෙහිව විදේශ විනිමය පනත යටතේ දඩ පැමිණවීමක් සිදුකරන බවත් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේය. ඒ අනුව මෙය එම පුද්ගලයන් යම් කිසි නීතිවිරෝධී ආකාරයෙන් මුදල් රඳවා තබා ගැනීමක් ලෙස සිතා කටයුතු කිරීමක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

“මෙම දඩ පැමිණවීම පනත අනුව සිදු වේවි. එහිදී විගණකාධිපති ජනරාල්වරයාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වීම සිදු වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ඩොලර් ලක්ෂයක් තියෙන අයෙකුට ඩොලර් ලක්ෂයක දඩයක් පමුණුවන්නත් පුළුවන්.”

මේ අතර මෙවැනි ආකාරයට නීතිවිරෝධී ආකාරයට විදේශ විනිමය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ජනතාවගෙන් තොරතුරු ලැබෙන බවත්, පසුගිය සතියේදී පමණක් එවැනි සිද්ධීන් දෙකක් වාර්තා වූ බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන්කළේය.

“මේ සති දෙකක සහන කාලයෙන් පස්සේ අපේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව මෙම ස්ථාන සහ පුද්ගලයන් වැටලීම සිදු කරමින් එම මුදල් අපගේ භාරයට ගැනිම සිදු කරනවා. එම මුදල් අපි බැංකුවේ තැන්පත් කරමින්, ඒවා සන්තකයේ තබා ගත් පිරිසට එරෙහිව දඩ පමුණුවනවා.”

මෙම ක්‍රමවේදය හරහා මෙතෙක් බැංකු පද්ධතිය වෙත පැමිණ නොමැති විදේශ මුදල් ඒ වෙත ගෙන්වා ගැනීම අරමුණ බවත්, එම විදේශ විනිමය යොදා ගෙන හැකි පමණින් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සැලසුම බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Visits: 171