RHODA සහ PICKME එක්ව විදුලි යතුරුපැදි හරහා ආහාර බෙදා හැරීමේ අත්හදා බැලීමක

මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන සමාගමක් වන PICKME හි PICKME Foods සේවාව, දේශීය නිෂ්පාදනයක් වන RHODA (PVT) Ltd සමාගමේ e-mobility විදුලි බයිසිකල් හා එක්ව සිය ආහාර බෙදාහැරීමේ සේවාවේ අත්හදා බැලීමක් ආරම්භ කර ඇතැයි පවසයි.

විශේෂයෙන්ම වර්තමානයේදී රට තුළ පවතින උග්‍ර ඉන්ධන හිඟයට පිළියමක් ලෙස සහ වඩාත් පරිසර හිතකාමී පියවරක් ලෙස මෙම නවතම හඳුන්වාදීම වෙත යොමුවීමට එම සමාගම් දෙක පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවිය RHODA හි සම නිර්මාතෘවරයෙකු වන ඊයාස් ෆාසුල්ගෙන් සිදු කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා, “අද රට තුළ උද්ගතවෙලා තිබෙන මේ ඉන්ධන ගැටලුවට දෙන්න පුළුවන් විසඳුමක් විදියට තමයි මේ අදහස එන්නේ. එතැනදී අත්හදා බැලීමක් සඳහා අපි PICKME සමගින් හවුල්කාරීත්වයකට පිවිසුණා.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ නිර්මාණයක් සහ නිෂ්පාදනයක් ලෙස මෙම RHODA විදුලි බයිසිකලය හඳුන්වාදී තිබේ. බැටරියක් සහ මෝටරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම විදුලි බයිසිකලය, අවශ්‍ය විට පැඩල ආධාරයෙන් පැදගෙන යාමේ හැකියාවද පවතී.

“මෙය පැහැදිලිවම ශ්‍රී ලාංකීය ගැටලු නිර්මාණශීලීව විසඳන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ගේ නිර්මාණයක් කියලා ආඩම්බරයෙක් කියන්න පුළුවන්.” යනුවෙන්ද ඊයාස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Visits: 122