හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙතින් රුපියල් 1.95 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (HHL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.95ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 20 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූනි 28 නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇතැයිද හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 43.90ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 43.60ට සාපේක්ෂව ශත 30ක එනම් 0.69%ක ඉහළ යාමකි.

Visits: 58