සංස්ථා උපදෙස් නොතැකූ ඉන්ධන පිරවුම්හල් හතරකට ඉන්ධන සැපයුම් අත්හිටුවයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) මගින් පාරිභෝගිකයන් වෙත ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නීති රීති සහ උපදෙස්වලට පටහැනිව ක්‍රියා කළ ඉන්ධන පිරවුම්හල් හතරක් වෙත අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගත් බව එම සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව මාකොළ – මාකොළ දකුණ ලංකා පිරවුම්පොළ, නාල්ල ලංකා පිරවුම්පොළ, කැලණිය – පෙතියාගොඩ ලංකා පිරවුම්පොළ සහ මීරිගම ලංකා පිරවුම්පොළ යන ඉන්ධන පිරවුම්හල් හතර වෙත මෙම සැපයුම් තහනම ක්‍රියාත්මක කෙරෙන බව සංස්ථාව පවසයි.

එසේම මෙම පිරවුම්හල් සම්බන්ධයෙන් බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

එම සංස්ථාව සඳහන් කරන ආකාරයට විවිධ පාර්ශ්වයන් බැරල් සහ බූලි මගින් ඉන්ධන තොග රැස් කිරීමට පෙළඹීම නිසා ඇති වූ විශාල ගැටලුකාරී තත්ත්වය මඟහැරවීම සඳහා බැරල් සහ බූලි වැනි භාජන වෙතට ඉන්ධන නිකුත් නොකරන ලෙස දිවයින පුරා පිහිටා ඇති සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත ලිඛිතව දැනුවත් කර උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.

එසේම සැබෑ පාරිභෝගික අවශ්‍යතාවන් වෙනුවෙන් ඉන්ධන නිකුත් නොකර, අනිසි ලාභ ඉපැයීමේ අරමුණින් ඉන්ධන තොග පවත්වා ගෙන යාමට ඉන්ධන අලෙවියෙන් වැළැකී සිටිමින් පාරිභෝගික සේවාවන් ලබාදීමට අපොහොසත්වීමද බරපතල වරදක් බවද මෙම සියලුම ඉන්ධන හිමියන් වෙත ලිඛිතව උපදෙස් ලබාදීමක් සිදුකළ බවත් සංස්ථාව පවසයි.

මීට අමතරව ඉන්ධන නිකුත් කිරීමේදී ඇති වන ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා සහ ගනුදෙනු කිරීම්වලට වැය වන කාලය ඉතිරි කර ගැනීම සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී විවිධ වාහන වර්ග සඳහා ලබා දිය යුතු ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳවද ලිඛිතව පිරවුම්හල් හිමියන් දැනුවත් කළ බවත් සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 2,000ක ඉන්ධන, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,000ක ඉන්ධන සහ කාර්,වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා රුපියල් 8,000ක ඉන්ධන ලෙස මෙම නියමයන් පනවා තිබේ. කෙසේ වෙතත් බස් රථ සහ සෙසු වාණිජකටයුතු සඳහා භාවිතා වන ඩීසල් වාහන සඳහා මෙම නියමයන් අදාළ නොවුණු බවත් සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ඉහත සඳහන් ලංකා පිරවුම්හල් හතරම මෙම උපදෙස් සහ නීති නොතකමින් කටයුතු කර ඇති බවට සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇතිබවත්, ඒ හේතුවෙන් එම පිරවුම්හල් වෙත ලබා දෙන සැපයුම් මෙලෙස අත්හිටුවීමට පියවර ගත් බවත් සංස්ථාව පවසයි.

එසේම ඉදිරියේදීත් මෙම නීතිරීති සහ උපදෙස්වලට පටහැනිව ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් පිළිබඳව විමර්ශණය සඳහා පරීක්ෂණ කණ්ඩායම් යොදවා ඇතිබවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 146