VEGA රථයේ නිර්මාතෘ බෙෂාන් කුලාපලගෙන් ඉන්ධන ඉල්ලුම අඩු කිරීමට යෝජනා

මෙරට නිපදවුණු පළමු විදුලි මෝටර් රථය  වන VEGA රථයේ නිර්මාතෘ බෙෂාන් කුලාපල මහතා වර්තමානයේදී රට තුළ පවතින ඉන්ධන ඉල්ලුම පහත හෙළිම සඳහා ගත හැකි කඩිනම් පියවර කිහිපයක් යෝජනා කර සිටියි.

සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් කුලාපල මහතා මේ බව සඳහන් කර සිටියි. මෙහිදී ඔහු ඒ සඳහා පියවර තුනක් යෝජනා කරන අතර, ගැටලු විසඳීම සඳහා තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ගැනත් පහදා දෙයි.

කුලාපල මහතාගේ පළමු යෝජනාව වන්නේ මගීන් නොමැතිව රියදුරු පමණක් ධාවනය කරන රථ කඩිනමින්ම සීමා කළ යුතුය යන්නයි. ඒ සඳහා කාර්පූලිං හෙවත් පිරිසක් එක්ව තනි කාර් රථයක ගමන් කිරීම යනාදිය වෙත යොමුවීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ යටතේ පළමු උප යෝජනාව ලෙස ඒ මහතා පවසන්නේ මගීන් නොමැතිව නගර සීමාවට ඇතුළු වන මෝටර් රථ සඳහා රුපියල් 300ක ගාස්තුවක් අය කරගැනීමයි. එය ස්වයංක්‍රීය සහ සරල ක්‍රමවේදයෙන් සිදු කිරිම සඳහා තාක්ෂණය යොදා ගත හැකි බවත් ඔහුගේ අදහස වී තිබේ.

එසේම මෙහිදී ගිලන් රථ වැනි හදිසි ආපදා රථ, වාණිජ රථ, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා විශේෂයක් ලබා දිය යුතු බවත්, එහිදී නීතීඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගෘහනිර්මාණශිල්පීන් සඳහා විශේෂයක් සිදු නොකළ යුතු බවත් ඔහු පවසයි.

එසේම දෙවැනි යෝජනාව ලෙස ඔහු ඩීසල් ලබාදීමේ ප්‍රමුඛතාවක් පිළිබඳව පවසයි. ඒ අනුව ආහාර, පළතුරු සහ එළවළු ප්‍රවාහනය කරන වාණිජ රථ සඳහා මූලික ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එසේම පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් ලබා දිය යුතුය. ඊට අමතරව කාර්යාල ප්‍රවාහන (ආයෝජන මණ්ඩල කලාපවල) රථ වාහනද මෙම ප්‍රමුඛතාව හිමිවිය යුතුව ඇතැයි ඔහු පවසයි. මේ අතර වාණිජ රථ සඳහා සහ පොදු ප්‍රවාහන රථ සඳහා වෙන් වූ ඉන්ධන හල් පවත්වාගෙන යාමත් වැදගත් බවත් ඔහු සඳහන් කරයි.

මෙම යෝජනා දෙකට අමතරව තෙවැනි යෝජනාව ලෙස කුලාපල මහතා පවසන්නේ, දැනට පවතින ඉන්ධන පෝළිම් කළමනාකරණය සඳහා තාක්ෂණය යොදා ගැනිමයි, එහිදී කාලයක් වෙන් කිරීමත්, ලබා දෙන ඉන්ධන සීමාවක් කිරීමත් කළ හැකි බව ඔහු පවසයි. ඒ සඳහා යොදා ගත හැකි ඩිජිටල් තාක්ෂණය වඩාත් මිල අඩු, ක්ෂණික සහ යෙදවීමට පහසු වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 263