IOC ඉන්දියාවේදීත් වැඩ පෙන්වයි – ඉන්දියානු සමාගමක් ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි

ඉන්දියාවේ විශාලතම ඉන්ධන සමාගම වන ඉන්දියානු ඔයිල් සමාගම (IOC – Indian Oil Corporation) 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂයේදී ඉන්දියානු රුපියල් කෝටි ලක්ෂ 7.28ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 96ක ආදායමක් ලැබීමට සමත්ව ඇතැයි පවසයි.

මෙම මූල්‍ය වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරමින් එම සමාගම එරට කොටස් හුවමාරුව වෙත යැවූ ලිපියක් තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම 2021/22 මූල්‍ය වර්ෂය තුළදී ඉන්දියානු සමාගමක් වාර්තා කළ ඉහළම ආදායම මෙය බවත් සඳහන්ව තිබේ.

මේ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට දැනට පවතින දත්ත අනුව 2021/22 මූල්‍ය වර්ෂයේදී රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් සමාගම රුපියල් කෝටි ලක්ෂ 7.92ක ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. ඒ අනුව එය මෙතෙක් එරට තුළ සමාගමක් ලැබූ වැඩිම ආදායම බවට පත්විය යුතුව තිබේ.

එහෙත් මෙම ආදායම තුළ එම සමාගම මගින් රජය වෙනුවෙන් එකතු කරගන්නා ලද GST බදු වටිනාකම්ද ඇතුළත්ව තිබෙන නිසා එම වටිනාකම් ඉන් අඩු කළ යුතුව ඇත. ඉන්දියානු ඔයිල් සමාගමේ ආදායම් තුළ මෙම GST ඇතුළත්ව නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අයිඕසී සමාගමේ අධ්‍යක්ෂ-මූල්‍ය සන්දීප් ගුප්තා මහතා, “අයිඕසී සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී වෙනත් කිසිදු සමාගමක් මගින් වාර්තා නොකරන ලද ඉහළම මෙහෙයුම් ආදායම වාර්තා කිරිමට සමත්ව සිටිනවා.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය සඳහා අයිඕසී සමාගම වාර්තා කර ඇති දළ ලාභය රුපියල් කෝටි 24,184,10 කි. එය පසුගිය මූල්‍ය වර්ෂයේදී සමාගම වාර්තා කළ දළ ලාභය වූ රුපියල් කෝටි 21,836,04ට වඩා කැපී පෙනෙන ඉහළ අගයකි. මෙය අයිඕසී සමාගම වාර්තා කළ ඉහළම දළ ලාභයද වෙයි.

මේ අතර 2021/22 මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුව වන මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී අයිඕසී සමාගමේ ලාභය රුපියල් කෝටි 6,021.88ක් ලෙස සටහන්ව ඇත. එහෙත් පෙර මූල්‍ය වර්ෂයේ එම කාර්තුවේදී සමාගම රුපියල් කෝටි 8,781.30ක ලාභයක් ලැබීමට සමත්ව ඇතැයි සඳහන් වෙයි.

Visits: 161