සෙලින්කෝ ලයිෆ් 2022 දී මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් වෙයි

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ.

මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් යැයි බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර එය 2021 වසරේදී ලබාදුන් වටිනාකමට වඩා 8.8 % ක වර්ධනයකි. විශාල බැංකු, විදුලි සංදේශ සමාගම් සහ සිල්ලර වෙළඳ පොළේ දැවැන්තයින් ඇතුළත් වන මෙරට වටිනාම සන්නාම 100 තුළ සෙලින්කෝ ලයිෆ් 28 වන වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය බවට පත්ව තිබේ.

ඒ අතරම, සෙලින්කෝ ලයිෆ් සන්නාමයට බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් AA වර්ගීකරණය මේ වසරේදී AA+ දක්වා ඉහළ දමා තිබෙන අතර එයින් පිළිඹිබු වන්නේ ඉතාමත් අඩු ණය අවධානමක් සහ මූල්‍ය වගකීම් ඉටුකිරීමට ඉහළ හැකියාවක් තිබෙන බවයි.

සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම සහ ශක්තිය වෙනුවෙන් ලැබුණු නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මිලියන ගණනක ජනයාගේ අනාගත අවධානම අවම කිරීමට කැපවන සමාගමක් ලෙස අපගේ සාර්ථකත්වය ශ‍්‍රී ලාංකිකයින් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මත රඳා පවතිනවා. නිරන්තරයෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් වර්ගීකරණය වීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් වර්තමාන අභියෝගාත්මක කාලයකදී පවා අපගේ ශක්තිය විදහා දැක්වෙනවා.’  

ශ‍්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සැලකීමේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ සාමාන්‍ය රක්ෂණ සන්නාම වලට වඩා ජීවිත රක්ෂණ සන්නාම වැඩි වේගයකින් වර්ධනය වන බවයි. මේ අනුව, 2022 වසරේදී සමස්තයක් ලෙස ජීවිත රක්ෂණ සන්නාමවල වටිනාකම 9% කින් වර්ධනය වූ අතර සාමාන්‍ය රක්ෂණ සන්නාමවල වටිනාකම වර්ධනය වී තිබෙන්නේ 1% කින් පමණි. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වාර්තා කර තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පිළිබඳව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ජීවිත රක්ෂණ වාරික ආදායම් වර්ධනය වී තිබෙන බවයි.   

මෙම වර්ගීකරණයේදී මෙරට වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාම හඳුනාගැනීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම්වල මූල්‍ය දත්ත සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීම සහ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකරන වෙළඳපොළ සමීක්ෂණයක් භාවිතා කරයි. මෙහිදී, බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ගෝලීයව භාවිතා කරන සන්නාම තක්සේරුකරණ ක‍්‍රමවේදයක් වන රෝයල්ටි රිලීෆ් ප‍්‍රවේශය භාවිතා කරමින් සන්නාමවල වටිනාකම් ඇගයීම සිදුකරයි. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෑම වසරකම ලෝකයේ විශාලතම සන්නාම 5000 ක් පරීක්ෂාවට ලක්කරන අතර සියළුම අංශවල සහ රටවල සන්නාම වර්ගීකරණය කරමින් වාර්තා 100 කට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රකාශනය කරයි.  

ස්වාධීන සමීක්ෂණ පාර්ශවකරුවෙකු විසින් 2500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ පාරිභෝගික වෙළෙඳ සමීක්ෂණ අධ්‍යනයක් සමග ඒකාබද්ධ වූ නවතම මූල්‍ය තොරතුරු බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් භාවිතා කරයි. මේ වසරේදී තිරසාරත්වය වෙනුවෙන් සන්නාමයක ප‍්‍රවේශය ඇගයීම පිළිබඳ සොයාගත් කරුණු එහි සන්නාම ශක්ති දර්ශක (BSI) රාමුවට ඇතුළත් කිරීම සඳහා තිරසාර සමීක්ෂණයක්ද බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සිදුකර තිබේ. මෙම සමීක්ෂණය ගෝලීය වාර්තාකරණ වැඩසටහන් (GRI) ප‍්‍රමිතිය පදනම් කරගනිමින් සංවර්ධනය කර තිබෙන අතර සේවකයා, පරිසරය, ප‍්‍රජාව සහ පාලනය යන කුළුණු හතර පාදක කරගනිමින් ගුණාත්මක තත්ත්වය මෙහිදී ගණනය කර ඇත.  

Visits: 58