අප්‍රේල් මාසයේදී CSE හි මෘදුකාංග සේවා හැර අනෙක් GICS කාණ්ඩ සමාගම් සියල්ල පාඩු ලබලා

කොළඹ කොටස් හුවමාරුවෙහි GICS වර්ගීකරණය යටතට අයත් සමාගම් කාණ්ඩ 20 අතරින් මෘදුකාංග සේවා හැර අනෙකුත් කාණ්ඩ 19ම සමාගම්වල කාර්යසාධනයේ දර්ශක අගයන් (Index Point) පසුගිය අප්‍රේල් මාසයේදී ඍණ අගයක් ගෙන ඇතැයි ICRA Lanka ආයතනය පවසයි.

එම ආයතනය මගින් මාසිකව නිකුත් කරන මාසික ආර්ථික වාර්තාව (Monthly Economic Update) යටතේ අප්‍රේල් මාසය සඳහා වන වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන් කර සිටියි.

ඒ අනුව මෙහිදී වැඩිම පසුබැසීමක් සිදුව ඇත්තේ ප්‍රවාහන අංශයේ සමාගම්හි දර්ශක අගයන්ය. එය දර්ශක අංක 6369කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අප්‍රේල් මාසයේදී දර්ශක අංක 508 කින් පහත බැස තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් දර්ශක අංක 203 කින්ද, රක්ෂණ සමාගම් දර්ශක අංක 199කින්ද පහතවැටී ඇත.

එසේම මෝටර් රථ සහ උපාංග සමාගම් දර්ශක අංක 164කින්ද, ගෘහස්ත සහ පෞද්ගලික නිෂ්පාදන සමාගම් දර්ශක අංක 151කින්ද පහතවැටී තිබේ. බලශක්ති සමාගම් දර්ශක අංක 103කින් පහත වැටී ඇත. සිල්ලර සහ බැංකු සමාගම් පිළිවෙලින් දර්ශක අංක 89කින් සහ 86කින් පහත වැටී තිබේ.

මීට අමතරව දේපළ වෙළෙඳාම් සමාගම් දර්ශක අංක 81කින්ද, ආහාර පාන වර්ග සහ දුම්කොළ සමාගම් දර්ශක අංක 76කින්ද, උපයෝගිතා සමාගම් දර්ශක අංක 57කින්ද පහත වැටී තිබේ. දුරකතන සේවා සමාගම් දර්ශක අංක 47කින් පහත වැටී ඇත. වාණිජ සහ වෘත්තීමය සේවාවන් අංශය දර්ශක අංක -21කින්, පාරිභෝගික සේවා සමාගම් දර්ශක අංක -36කින්ද, පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් සමාගම් දර්ශක අංක -46කින්ද මෙලෙස පසුගිය අප්‍රේල් මාසයේදී පහත වැටී තිබේ.

කෙසේ වෙතත් කොටස් හුවමාරුවෙහි මෙම GICS වර්ගීකරණය යටතට අයත් මෘදුකාංග සේවා සමාගම්හි කාර්ය සාධනය අප්‍රේල් මාසයේදී  දර්ශක අංක 32කින් ඉහළ නැග තිබේ.

විශේෂයෙන්ම දේශපාලන අස්ථාවරත්වය සහ දරුණු ආර්ථික තත්ත්වය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැට්ටවීමට හේතුවක් වී තිබෙන බවත්, මේ හේතුවෙන් අප්‍රේල් මාසය තුළදී සියලු කොටස් මිල දර්ශකය 14.37%කින් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය 17.22%කින් පහත වැටීමටත් හේතු වී ඇතැයි ICRA Lanka ආයතනය සඳහන් කරයි.

“දිගින් දිගටම සිදු වුණු අලෙවිකිරීමේ පීඩනයත් සමගින්ම අප්‍රේල් මාසය පුරාම වෙළෙඳපොළ තුළ අවස්ථා ගණනාවකදීම ගනුදෙනු අත්හිටුවීම් දැකගන්නට ලැබුණා. ඒ හේතුවෙන් මෘදුකාංග සේවා හැර අනෙකුත් අංශ දරුණු පාඩු ලැබ තිබෙනවා. එතැනදී ප්‍රවාහන අංශයේ සමාගම් වෙතදරුණු පාඩු සිදුව තිබෙනවා.”

එසේම සමස්තයක් ලෙස ගත් විට එසේම අප්‍රේල් මාසය තුළදී මිලපොත් වටිනාකම (PBV) ඒකක 1.14 සිට 0.92දක්වා පහතවැටී තිබෙන බවත් ICRA Lanka ආයතනය පවසයි.

Visits: 324