මස්ක් Twitter මිලදී ගන්න ඩොලර් බිලියන 44ක් ගෙවන්නේ නෑලු?

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ වැඩසටහන වන Twitter මිලදී ගැනීම සඳහා තමන් ඩොලර් බිලියන 44ක් නොගෙනවන බවට එලෝන් මස්ක් ඉඟියක් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය මාසයේදී මස්ක් සහ ට්විටර් සමාගම අතර ඇති වූ එකඟතාවකට අනුව ඩොලර් බිලියන 44කට මෙම ගනුදෙනුව තීන්දු විය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී මියාමි නුවරදී පැවැත්වුණු මියාමි තාක්ෂණික සමුළුව වෙත සහභාගි වූ එලෝන් මස්ක් එහිදී අදහස් දක්වමින් මෙම වටිනාකමට වඩා අඩුවෙන් තමන් ට්විටර් මිලදී ගනු ඇතැයි ඉඟියක් පළ කළ බව බ්ලූම්බර්ග් නිව්ස් වෙබ් අඩවිය පවසයි.

මෙම සමුළුවේදී අදහස් දක්වා ඇති මස්ක් මේ වනවිට ට්විටර් සතුව ඇති ගිණුම් මිලියන 229න් 20%ක්ම ව්‍යාජ/ස්පෑම් ගිණුම් බව පවසා තිබේ. මේවා ස්පැම් බොට්ස් නමින් හැඳින්වෙයි.

ට්විටර් සමාගම පසුගිය සතියේ සඳුදා අනාවරණය කළ ආකාරයට මෙම සමස්ත ට්විටර් ගිණුම් අතරින් 5%ක් ව්‍යාජ/ස්පෑම් ගිණුම් බව සඳහන් විය.

ඒ අනුව මෙම ස්පැම් බොට්ස් ප්‍රතිශතය පිළිබඳව අවසන් ගණනය කිරීමක් සඳහා ඉඩ දෙමින් තමන් ට්විටර් මිලදී ගැනීමේ ගනුදෙනුව තාවකාලිකව අත්හිටවූ බවත් මස්ක් පසුගිය බදාදා පවසා තිබුණි.

මෙලෙස ව්‍යාජ ට්විටර් ගිණුම් පැවතීම නිසා සැබෑ ට්විටර් පරිශීලකයන් සංඛ්‍යාව පිළිබඳව පැහැදිලි අදහසක් නොලැබෙන බවත්, එය ට්විටර් හි දැන්වීම් පළකරන දැන්වීම්කරුවන්ට බලපෑම් එල්ල කරන බවත් ට්විටර් සමාගමේ අදහස වී තිබේ. ඒ අනුව එම කරුණු නිරවුල් කරමින් ට්විටර් මස්ක් වෙත භාරදීමට සමාගම බලාපොරොත්තු වෙයි.

මේ අතර ඊයේ දිනයේදී නිව්යෝර්ක් කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී Twitter Inc. සමාගමේ කොටසක වටිනාකම 8%කින් පහත වැටෙමින් ඩොලර් 37.39ක අගයක් ගෙන තිබේ. මෙය පසුගිය මාර්තු මාසයේදී මස්ක් ට්විටර් සමාගමේ තනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්වීම සඳහා 9%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් වටිනාකමට වඩා අඩු අගයකි.

එසේම පසුගිය අප්‍රේල් 14 වැනිදා මස්ක් ට්විටර් සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවේදී කොටසක් සඳහා ඩොලර් 54.20ක වටිනාකමක් ගෙවීමට එකඟවී තිබුණි.

Visits: 132