රටෙහි ආර්ථික තත්ත්වය අනාවරණයට අගමැති රනිල් අද (16) ජාතිය අමතයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) ජාතිය ඇමතීමක් සිදු කරන බව අගමැති කාර්යාලය සඳහන් කරයි. ඒ මහතා 06 වැනි වරටත් අගමැති ධුරයට පත්වීමෙන් අනතුරුව ජාතිය අමතන පළමු අවස්ථාව මෙය වෙයි.

වර්තමානයේදී රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය සහ එම අර්බුදය විසඳාගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන වැඩපිළිවෙල පිළිබඳව අද ඒ මහතා කරුණු හෙළිකරනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා ඊයේ දිනයේදී වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අගමැතිවරයා, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට ගන්නා බව සඳහන් කළේය. පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.

Visits: 75