“පාස්පෝට් ගාස්තු ඉහළ යාමක් නෑ – හෙට සිට යළිත් සුපුරුදු සේවාවට” – ආගමන විගමන දෙපාර්තමේන්තුව

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (මැයි 17) දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී මෙම සේවාවන් සඳහා සුපුරුදු ලෙස කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණීම අනිවාර්යය බව දැනුම් දී සිටියි.

විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවේ දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000ක් බවත්, අපහසුතාවකට පත් නොවීම සඳහා එලෙස කලින් වේලාවක් වෙන් කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙහිදී ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707101060 දුරකතන අංක රජයේ වැඩකරන දිනවලදී පෙ.ව. 8.30 සිට පස්වරු 3.00 දක්වා භාවිත කරන ලෙස දැනුම් දී සිටියි.

එසේම ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ යාමක් හෝ ගමන් බලපත්‍ර තොග අවසන් වන බවට වන ප්‍රචාර නිවැරදි නොවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 1527