ඉන්ධන සඳහා ගෙවීමට විවෘත වෙළෙඳ පොළෙන් ඩොලර් මිලදී ගැනීමට යයි

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙහි දින 40කට වඩා වැඩි කාලයක් නවත්වා ඇති පෙට්‍රල්, බොරතෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නිදහස් කරගැනීම සඳහා විවෘත වෙළෙඳ පොළෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පස්වරුවේදී ජාතිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“2019 නොවැම්බර් මාසයේදී අපේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුණි. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දිමට හැකියාවක් නෑ.”

මේ අතර විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එක්ක උත්පාදනය සඳහා ඉන්ධන යොදා ගන්නා බවත්, ඉන්ධන නොමැති නිසා දිනකට පැය 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වෙනු ඇති බවත් අගමැතිවරයා මෙහිදී පවසා සිටියේය. එහෙත් මේ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන ඇති බවත් අගමැතිවරයා පවසා සිටියේය.

“ගෑස් ලබා දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මණින් සොයා ගත යුතුයි. භූමිතෙල් සහ දැවිතෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි. මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක්.”

ඒ අනුව අගහරුවාදා වන විට පැමිණීමට නියමිත ගෑස් නෞකාවට මුදල් ගෙවීමට කටයුතු කරන බවත්, ඒ තුළින් ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇති බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.

Visits: 164