“ඩොලරයක් රුපියල් 365යි“- මහ බැංකුව නිල වශයෙන් කියයි

ශ්‍රී ලංකාව තුළ සිදුකරන විදේශ විනිමය ගනුදෙනුවලදී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රුපියල් 364.98ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි. එසේම එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැණුම් මිල රුපියල් 355ක් බවත් මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු සඳහනට අනුව ඊයේ (12දා) දිනයේදී ඩොලරයක  විකුණුම් මිල රුපියල් 378ක් ලෙස සටහන්ව තිබූ අතර ගැණුම් මිල රුපියල් 364ක් ලෙස සටහන්ව තිබුණි.

ඒ අනුව අද (13දා) දිනයේදී ඩොලරයක විකිණුම් මිල රුපියල් 13කට ආසන්න අගයකින් පහත වැටී තිබේ.  

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා විසින් අද පෙරවරුවේදී සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, බැංකු අතර සිදුවන විනිමය හුවමාරුවේදී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් වටිනාකම රුපියල් 360ක මැදි අගයක පවත්වා ගෙන යන ලෙස දැනුම් දී තිබුණි.

එසේම මෙම මැදි අගය යටතේ කුමන හෝ දෙපාර්ශ්වයක් විසින් විසින් රුපියල් 2.60ක (ධන හෝ ඍණ) විචලන ආන්තිකයක් පවත්වා ගෙන යා යුතු බවටද මෙහිදී සඳහන් කර තිබේ.

මෙය ඊයේ (12දා) දිනයේදී මහ බැංකු අධිපතිවරයා විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත විනිමය අනුපාතයක් සඳහා දෛනික ද්‍රවශීලතාවක් කළමනාකරණය සඳහා මෙවැනි මැදි අගයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදුකළ උපදසේ දීමේ දිගුවක් ලෙසද සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකා රුපියල හා සම්බන්ධව සිදු කරන අනෙකුත් විනිමය අනුපාත ගනුදෙනුවලදීද ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල අතර පවතින මැදි අගය පදනම් කරගනිමින් සිදු කළ යුතුව ඇති බවත් මහ බැංකුව මෙහිදී සියලුම වාණිජ බැංකු වෙත දැනුම් දී තිබේ.

තත්ත්වය මෙසේ පවතිද්දී නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ආයතන හරහා එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් වටිනාකමද පහත වැටී ඇතැයි සඳහන් වෙයි.

Visits: 95