සජිත් ප්‍රේමදාසත් අගමැති ධුරය ඉල්ලයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත්, එම සන්ධානයේ නායකයා ලෙස තමන් අගමැති ධුරය භාර ගැනිමටත් තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පස්වරුවේදී ලිපියක් මගින් දැනුම් දෙමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියි.

එහිදී ජනපතිවරයා ඊයේ රාත්‍රියේ ජාතිය අමතා සිදු කළ ප්‍රකාශනයේ ඇති පරිදි, නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට එකඟ වීම, සති දෙකක කාලයක් තුළ සියලු පක්ෂ සහයෝගයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම බලාත්මක කිරීම, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කොට, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීම යනාදී කරුණු අනුව මේ සඳහා එකඟ වන බවත් ඔහු පවසයි.

ඒ අනුව නව කෙටි කාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බවත් විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.

විපක්ෂනායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය.

කෙසේ වෙතත් මීට පෙර නව රජයක් පිහිටුවීම සඳහා ජනපතිවරයා සිදුකළ ආරාධනාව ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස මහතා, ඒ සඳහා ජනපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව පවසා තිබුණි.

මේ අතර ඉදිරියේදී පිහිටුවන නව අන්තර්කාලීන රජයේ නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී දිවුරුම් දිමට සූදානමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමෙන් අනතුරුව සමගි ජන බලවේගය සිය කොන්දේසි සඳහා සහනයක් ලබා දෙමින් මෙලෙස නව යෝජනා ඉදිරිපත් කර තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.

Visits: 75