රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති ධුරයට?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව හිස්ව පවතින අගමැති ධුරය සඳහා හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.

අද දිනයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම නව පත් කිරීම සිදු කිරිමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවෙහි බහුතර මන්ත්‍රී ආසන 113ක කැමැත්තක් සහ විශ්වාසය දිනාගන්නා පුද්ගලයෙකු වෙත ව්‍යවස්ථානුකූලව අන්තර්කාලීන රජයක අගමැති ධුරය පිරිනමන බව ජනපතිවරයා මීට පෙර පවසා තිබුණි.

මේ වනවිට හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී දින දෙකක් ගතවී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරිම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වර්තමානයේදී සමගි ජනබලවේගය හා සම්බන්ධව සිටින පැරණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහාය දක්වනු ඇතැයිද සඳහන් වෙයි.

ඒ අනුව හෙට දිනයේදී හෝ අනිද්දා දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සඳහන් කර තිබේ.

Visits: 172