“දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුණොත් ධුරයෙන් ඉල්ලා අස් වෙනවා“ – මහ බැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා  ධුරයෙන් ඉවත් වන  බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද පස්වරුවේදී මහ බැංකුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම්, ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් ඔහු මෙහිදී පවසා තිබේ. එසේම දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද හෙතෙම කීය.

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.” යනුවෙන්ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Visits: 26