අනාගත නායකයින් බිහිකිරීම වෙනුවෙන් Baurs Toastmasters Club ඇරඹෙයි

මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින් අතර ඵලදායී සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ටෝස්ට්මාස්ටර් සංගමයක් (Baurs Toastmasters Club – BTC) ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. එහි පළමු විධායක කමිටුව පත්කිරීමේ නිල උත්සවය ඉකුත් අප්‍රේල් 29 වැනිදා කින්ග්ස්බරි හෝටලයේදී පැවැත්වුණි.

මෙම උත්සවයට, බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර, ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික්ක 82හිගරු අධ්‍යක්ෂ ශිරන්ති සල්ගාදු මහත්මිය විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වූවාය. බවර්ස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙන්ම, Colombo Toastmasters Clubහි සභාපතිනිය වන DTM ශ්‍යාමලී ජයසේකර මහත්මිය ඇතුළු දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරයේ ඉහළ නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

″Baurs Toastmasters Club ස්ථාපිත කරනු ලබන අවස්ථාවට සහභාගී වීමට ලැබීම ඇත්තෙන්ම සුවිශේෂී මොහොතක්. මෙය අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් රැසක්, ඵලදායී සන්නිවේදකයින් සහ නායකයින් බවට පරිවර්තනය වන දිගු ගමනක් ආරම්භයයි. ඒ වගේම ඔවුන් උගත් දේ අන්‍යයින් සමඟ බෙදාගැනීමටත්, ඒ හරහා ප්‍රජාවට යම් දායකත්වයක් සැලසීමටත් ඔවුන්ට අවකාශ උදා වෙනවා″, යනුවෙන් උත්සව සභාව අමතමින් රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.

වසර ගණනාවක් පුරා බවර්ස්හි විවිධ අංශ ආශ්‍රිතව Speechcraft වැඩසටහන් සංවිධානය කිරීම තුළ,ටෝස්ට්මාස්ටර්ස් ජාත්‍යන්තරය යනු බවර්ස් සමාගමට අලුත් අත්දැකීමක් ද නොවේ. එම සියලු කටයුතු පිටුපස රැඳෙමින් මඟපෙන්වීම් ලබාදෙන ලද්දේ Colombo Toastmasters Club විසිනි.

මෙම වැඩසටහන් මගින් කාර්යමණ්ඩල සාමාජිකයින්ට සිය පොදු කථන හැකියා වර්ධනය කරගැනීමටත්, විශේෂයෙන්ම ආත්ම විශ්වාසය නංවාගැනීමටත් හැකිවූ අතර, විවිධ සන්නිවේදන ආචාරධර්ම ද ඔවුන්ට සමීප කිරීමට හැකිවිය. එහිලා, ක්ෂණිකව ලබාදෙන මාතෘකාවක් ඔස්සේ සිදුකරන කථා, කථාවකට සරිලන ලෙස ශරීර අංග චලන සිදුකිරීම, සක්‍රීයව කථාවකට ඇහුම්කන් දීම මෙන්ම විචාරාත්මක ඇගයීම යනාදිය පුරුදු පුහුණු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා විය. අඛණ්ඩ මඟපෙන්වීම් සහ අත්දැකීම් බහුල ටෝස්ට්මාස්ටර්වරුන්ගේ සංවර්ධනාත්මක ප්‍රතිචාර මත මෙම ඉගෙනුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක විය.

Baurs Toastmasters Club නිල වශයෙන් ස්ථාපනය කිරීමේ කාර්යය සිදුකරන ලද්දේ දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරයේ සන්නිවේදන ප්‍රධානී DTM සර්මා මහාලිංගම් මහතා විසිනි. නව ටෝස්ට්මාස්ටර් සංගමයේ නිලධාරී මඬුල්ල පත්කිරීමේ අවස්ථාව මෙහෙයවීම කලාප අධ්‍යක්ෂ ටෝස්ට්මාස්ටර් විනෝදිනී දුර්භක්ෂි මහත්මියට භාර කෙරුණි.

අලුතින් පිහිටුවන ලද බවර්ස් ටෝස්ට්මාස්ටර් සංගමයේ අභිනව සභාපති ලෙස රසික අමරසිංහ (කළමනාකරු, පරිපාලන) පත්වූ අතර, උප සභාපති-අධ්‍යාපන ලෙස හර්ෂි විජේන්ද්‍ර (ජ්‍යෙෂ්ඨ විධායක, ඉගෙනුම් සහ සංවර්ධන) ද, උප සභාපති-මහජන සබඳතා ලෙස මධුෂාන් අල්විස් (නිෂ්පාදන කළමනාකරු, Roche Biotech නියෝජනය කරමින් බවර්ස් හෙල්ත්කෙයා අංශයේ) ද, උප සභාපති-සාමාජිකත්ව ලෙස ටාෂියා විජය කුලසූරිය (විධායක කාර්යාල සම්බන්ධීකාරක) ද, ලේකම් ලෙස චතුරිනී කාරියවසම් (නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ- කෘෂිකර්ම හි පෞද්ගලික සහායිකා) ද, භාණ්ඩාගාරික ලෙස ඩිල්ෂාන් වරුසමාන (සහකාර ගණකාධිකාරී) ද, සාජන්ට් ඇට් ආම්ස් ලෙස දීපිකා රාමරාජ් (පරිපාලන විධායක) ද තේරී පත්වූහ.

Visits: 66