ශ්‍රී ලංකාව සහ IMF අතර ඊළග වටයේ සාකච්ඡා අද (09දා) ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර (IMF) ඊළග වටයේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අද (මැයි 09) දිනයේදී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසයි. මෙම සාකච්ඡා ලබන මැයි 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තීන් යටතේ ශ්‍රී ලංකාව වෙත තවදුරටත් සහයෝගය ලබා දීමට අප කටයුතු කරනවා.” යනුවෙන්ද නොසාකි මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මෙහෙයුම් ප්‍රධානියා, ශ්‍රී ලංකාවේ ණය ඇස්තමේන්තුකරණය පවතින්නේ තිරසාර මට්ටමක නොවන බව පවසා තිබේ. එහිදී කඩිනම් මූල්‍ය සහයෝගයක් (Rapid Financing Instrument) ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍යකරණයක් සඳහා මෙම ණය ස්ථාවරත්වය සම්බන්ධයෙන් වන පැහැදිලි සහතිකයක් ඇති කිරීම අනිවාර්යය වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිලධාරී මට්ටමේ සාකච්ඡා පසුගිය මාසයේදී එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර IMF මුලස්ථානයේදී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාව දැනට රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කඩිනම් මූල්‍ය පහසුකමක් අපේක්ෂාවෙන් පසුවෙයි. ඊට අමතරව පුළුල් විස්තීරණ අරමුදල් පහසුකමක්ද (EFF) ශ්‍රී ලංකාව බලාපොරොත්තුව සිටියි.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වා සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් පවතින මෙම අස්ථාවරත්වය ක්ෂණිකව පොළී ඉහළ දැමීම් සහ බදු ඉහළ දැමීම් යන ක්‍රමවේද හරහා සිදු කරන සාර්ව ආර්ථික ගැලපීම් ඔස්සේ ක්ෂණිකව සරලවම සිදු කළ නොහැකියි. එතැනදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් මෙම ණය ආපසු ගෙවීමේ කාලය ඇතුළුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙත යොමු විය යුතුව තිබෙනවා.” යනුවෙන්ද පවසා සිටියි.

Visits: 86