ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩො.මි. 100ක ප්‍රදානයක් සඳහා සාකච්ඡා

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB – Asia Infrastructure Investment Bank) මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන හදිසි සහයෝගයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් සිදු කිරීමට සූදානමින් ඇතැයි මුදල් ඇමති අලි සබ්‍රි මහතා පැවසූ බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

මෙම බැංකුව චීන රජය යටතේ ක්‍රියාත්මක වන බැංකුවකි. මෙරට විදේශ විනිම ද්‍රවශීලතා මට්ටම වර්ධනය කරගැනීම සඳහා සහයෝගයක් ලෙස හදිසි ආධාර ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් කර ඇති ඉල්ලිමකට ප්‍රතිචාර ලෙස එම බැංකුව මෙම ආධාර මුදල ලබාදිමට තීරණය කර ඇත.

මුදල් ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ අනාවරණයට අනුව අද වනවිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක් දක්වා පහත වැටී තිබෙන බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම AIIB බැංකුව 2014 වසරේදී පිහිටුවා තිබේ. එය බහුපාර්ශ්වික බැංකුවක් ලෙස ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා වැඩිම අරමුදල් දායකත්වයක් ලබා දී ඇත්තේ චීනයයි. ආසියාව තුළ සිදු කරන යටිතල පහසුකම් සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම බැංකුව පිහිටුවා තිබේ.

අද වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන්නේ චීනයයි. මෙහිදී චීනය වෙත ගෙවීමට ඇති ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5කට ආසන්න වෙයි.

ශ්‍රී ලංකාව මේවනවිට සිය විදෙස් ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, චීනයෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරිම පිළිබඳවද සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි.

Visits: 84