වසර 23කට පසුව ශ්‍රී ලංකාවේ අඩුම තේ අපනයනය මේ වසරේ පළමු කාර්තුවේදී

2022 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනය තේ කොළ කිලෝග්‍රෑම් මිලියන 63.7ක් ලෙස රේගු දත්ත තුළ සටහන්ව ඇතැයි AFP පුවත් සේවය පවසයි. පසුගිය වසරේ එම කාලසීමාව තුළදී එම අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 69.8ක් ලෙසද සඳහන්ව ඇත..

ඒ අනුව 1999 වසරෙන් පසුව පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකාවෙන් අඩුම තේ අපනයනයක් සිදු කෙරුණු පළමු අවස්ථාව ලෙසටද මෙය ඉතිහාසයට එක්ව බේ. 1999 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 60.3කි.

මෙහිදී මූලිකවම රසායනික පොහොර තහනම නිසා තේ වගාකරුවන් මුහුණ දුන් ගැටලු මෙන්ම රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් නිසා මතුව තිබෙන අලෙවියේ ගැටලු මෙම අපනයන පහත වැටීමට හේතු වී ඇතැයි පුවත් සේවය සඳහන් කරයි.

මෙම පොහොර තහනම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉවත් කළද, රට තුළ පැවති ඩොලර් හිඟතාව නිසා එම පොහොර නිසි ප්‍රමාණයෙන් ලබා ගැනීමට තේ වගාකරුවන්ට නොහැකි විය. එසේම රුසියාව සහ යුක්රේනය යනු ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 10%කට වගකියන ලද රටවල් බවත්, ශ්‍රී ලංකාවේ නිපදවෙන ‘කලු තේ‘ සඳහා එම රටවල් දෙක ඉහළ ගැනුම්කරුවන්ව සිටි බවත් සඳහන් වෙයි.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකාව හිමි කරගත් අපනයන ආදායමද පසුගිය වසරේ රැස් කරගත් ඩොලර් මිලියන 338 හා සැසඳීමේදී ඩොලර් මිලියන 287ක් දක්වා පහත වැටී තිබේ.

පුවත් සේවය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව 1948 වසරේදී නිදහස හිමි කරගැනීමෙන් අනතුරුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුද තත්ත්වයට මේ මොහොතේදී මුහුණ දී සිටියි.

මෙම ආර්ථික අර්බුදයට පෙරාතුව ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක ආදායමක් ඉපැයූ බවද එම පුවත් සේවය පෙන්වා දෙයි.

Visits: 159