ඉන්දියානු ණය ආධාර මගින් වානේ ආනයනය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

2022 මැයි 1 වැනි දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ “ආහාර සඳහා වු ඉන්දියානු ණය, වානේ ආනයනය කිරීමට යයි” යන මැයෙන් පළ වූ පුවත්පත් ලිපිය, අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බව පවසන මුදල් අමාත්‍යාංශය, ඊට පැහැදිලි කිරීමක් සිදු කිරිමට අපේක්ෂා කරන බව පවසයි.

අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය මේ බව පවසයි. එම නිවේදනය මෙසේය.

බැංකු පද්ධතියේ සහ වෙළෙඳපොළ තුළ ඇති වු විදේශ මුදල් හිඟය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍යද්‍රව්‍ය ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දුන් ශ්‍රී ලංකා ආනයනකරුවන්ට පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ගිවිසුමට අත්සන් තබා ඇත.

මාසික අවශ්‍යතාවය සහ ආනයනකරුවන්ගෙන් ලැබෙන තොරතුරු මත පදනම්ව, ආනයනය සඳහා වු මෙම ණය මුදල්, (අ) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය – ඩොලර් මිලියන 300, (ආ) ඖෂධ – ඩොලර් මිලියන 200 සහ (ඇ) කාර්මික අමුද්‍රව්‍ය – ඇ.ඩො. මිලියන 500 ආදී වශයෙන් වෙන් කරන ලදී.කෙසේ වෙතත්, කාර්මික අමුද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සඳහා වෙන් කිරීම අඩු කිරීම මගින් අත්‍යවශ්‍ය ඉන්ධන සහ LP ගෑස් සඳහා මෙම වෙන් කිරීම පසුව සංශෝධනය කරන ලදී (ඇමුණුම 1). මෙලෙස ණය මුදලේ වෙන් කිරීම තීරණය කරනු ලැබුවේ ණය ගිවිසුම ක්‍රියාත්මක කරන අවස්ථාවේ පැවති අවශ්‍යතා සලකා බලමිනි.

කාර්මික අමුද්‍රව්‍ය අතරට කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, රෙදිපිළි කර්මාන්තය සඳහා වු අමුද්‍රව්‍ය, කාබන් නොවන රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති / ක්ලින්කර්, ට්‍රාන්ස්ෆෝමර් සඳහා අමුද්‍රව්‍ය, පොහොර සහ වානේ ඇතුළත් වේ. දැනට නිමවෙමින් පවතින අත්‍යාවශ්‍ය ව්‍යාපෘති සහ අවසානයේ රටට විදේශ විනිමය ගෙන එන අපනයන කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය වන බැවින්, මෙම ණය මුදල යටතේ මෙම කාර්මික අමුද්‍රව්‍ය ආනයනයට අවස්ථාව ලබා දෙන ලදී.දැනට වානේ ආනයනය සඳහා මෙම ණය මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් යොදවා ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන සහ LP ගෑස් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් වත්මන් අවශ්‍යතා මත පදනම්ව විවිධ උප කාණ්ඩ සඳහා දැනට පවතින වෙන්කිරීම රජය විසින් සමාලෝචනය කරනු ඇත.

දැනටමත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ සම්බන්ධ මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙයි.

Visits: 154