IMF සමගින් නිලධාරී මට්ටමේ එකඟතාවට පිවිසීම ඉදිරි මාස දෙක ඇතුළතදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් පවත්වන සාකච්ඡා යටතේ එහි නිලධාරී මට්ටමේ එකඟතාවකට පිවිසීම ඉදිරි මාස දෙක ඇතුළතදී සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාස බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේ කොළඹදී පැවැති ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු රැස්වීමේදී ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී ඒ මහතා පසුගිය සතියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමගින් පැවැත් වූ සාකච්ඡාවලදී අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් වන තත්ත්වය පිළිබඳ අදහස් දක්වා තිබේ.

විශේෂයෙන්ම රට තුළ සාර්ව-මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාරාමුවක් ස්ථාපිත කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අද වනවිට උද්‍යෝගිමත් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව පවසා ඇති මහ බැංකු අධිපතිවරයා, ඒ අනුව මෙලෙස ලබන මාස දෙක ඇතුළතදී IMF සමගින් නිලධාරී මට්ටමේ එකඟතාවකට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාසයක් පවතින බව සඳහන් කර තිබේ.

මේ අතර අද වනවිට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතම කාර්යය බවට පත්ව තිබුණත්, රජයේ සුරැකුම්පත් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යටතේ ගැනෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමක් වෙත යොමුවීමක් සිදු නොකරන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසූ බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

එසේම ආර්ථිකය පිළිබඳ වන කඩිනම් කාරණා සඳහා අමතර පියවර රැසක්ම ක්‍රියාත්මක කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අධිපතිවරයා සඳහන් කර ඇත. එහිදී අද වනවිට අවිධිමත් වෙළෙඳ පොළ හරහා පැමිණෙන එක්සත් ජනපද ඩොලර් විධිමත් බැංකු පද්ධතිය හරහා රට තුළට ගලා ඒම උනන්දු කරවීම සඳහා වන නව රෙගුලාසි හඳුන්වාදීමත් සිදු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය මගින් හඳුන්වාදී ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන්, අද වනවිට ආනයන සඳහා වන වියදම වඩාත් තිරසාර මට්ටමකට පහත හෙළීමට හැකියාව ලැබී ඇතැයිද අධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතරතුරදීම ඉහළ යන ජීවන වියදමත් සමගින්ම සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ වැදගත්කමද අධිපතිවරයා සිය දේශනයේදී පවසා තිබේ. එහිදී ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතන සිය අරමුදල් ලබාදීම් ජනගහනයේ වඩාත් තර්ජනයට ලක්වන කොටස් වෙත ඉලක්ක කරගනිමින් නිකුත් කිරීමක් සිදු කරනු ඇතැයිද සඳහන් වෙයි.

මෙහිදී විශේෂයෙන්ම රටෙහි ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහයෝගයද අවශ්‍යව බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවසන් වශයෙන් සඳහන් කර තිබේ.

Visits: 118