ශ්‍රීලංකන් හොලිඩේස් වෙබ් අඩවිය අලුත් වෙයි

ශ්‍රීලංකන් හොලිඩේස් විසින් මැලේසියානු මාර්ගගත සංචාරක පහසුකම් සපයන්නා වන GoQuo සමඟ සම්බන්ධ වෙමින් වැඩිදියුණු කළ විශේෂාංග සහ පහසුකම් වලින් සමන්විත අති නවීනතම වෙබ් අඩවියක් පසුගියදා හදුන්වා දෙන ලදී.

මෙම වෙබ් අඩවිය හරහා මගීන්ට ගුවන් ටිකට්පත් , හෝටල්, ගුවන් ගමන් සඳහා හුවමාරුවීම්, සංචාර සහ අමතර සේවාවන් ඇතුළු බහුකාර්ය සේවා රැසක් ලබාගැනීමට හැකි වේ. තවද ඔවුන්ගේ සම්පූර්ණ නිවාඩුව සැලසුම් කර වෙන්කරවා ගැනීමට ද හැකියාව ලැබේ.

තවද, වෙබ් අඩවිය පරිශීලක-හිතකාමී වන අතර බහුභාෂා පහසුකම, සියලුම ස්මාට් දුරකතන වලට ගැලපෙන අයුරින් සහ පාරිභෝගිකයින්ගේ සෑම සංචාරක අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නිර්මාණය කර තිබේ.

ශ්‍රීලංකන් හොලිඩේස්‌ Agoda; Expedia; සහ Hotelbeds සමඟ එකතු වීමත් සමඟ මගීන්ට ලොව පුරා හෝටල් රාශියකට ප්‍රවේශය වීමට අවස්ථාව සැලසී තිබේ. මෙම වෙබ් අඩවිය මගින් හෝටල් වල මිල ගණන් හෝ ජනප්‍රියත්වය අනුව වර්ග කළ හැකි අතර, කාලීන ශ්‍රේණිගත කිරීම් සහ TripAdvisor සමාලෝචන මත පදනම්ව මගීන්ට ඔවුන්ගේ විකල්පයන් තෝරාගත හැකි වේ.

තම ගුවන් ටිකට්පත් සහ හෝටල් එකවර වෙන්කරවා ගන්නා පාරිභෝගිකයින්ට සැලකිය යුතු වාසි අත්විඳීමටද හැකියාව පවතියි. මීට අමතරව, ගනුදෙනුකරුවන්ට හුවමාරුවීම් සහ චාරිකා සංවිධානය කිරීමටත්, අමතර ගමන් මලු සහ ආසන වෙන්කරවා ගැනීම් වැනි සේවාවන් ලබා ගැනීමටත් වෙබ් අඩවිය හරහා හැකි වේ.

මෙම වෙබ් අඩවිය අන්තර්ජාල ගෙවීම් දොරටු කිහිපයකට සහය දක්වන අතර දැනට Visa සහ Mastercard ගෙවීම් පිළිගන්නා අතර American Express; සහ Diners Club කාඩ්පත් ගෙවීම් 2022 මැයි මස මැද වන විට සක්‍රීය කෙරේ.

පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර මුදල් වර්ග 31 ක මිල ගණන් බැලීම සහ තමන් කැමති මුදලින් ගෙවීමේ හැකියාව ඇත. ගෙවීම අවසන් වූ පසු පාරිභෝගිකයෙකුට ක්ෂණික වෙන්කිරීමේ තහවුරු කිරීමක් ලැබෙනු ඇත. වෙබ් අඩවියේ ප්‍රවර්ධන කේත විශේෂාංගයක් ද ඇති අතර, අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාර වලදී මගීන්ට තවදුරටත් වාසි අපේක්ෂා කළ හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී රිචඩ් නට්ල් “ මෙම වෙබ් අඩවිය පාරිභෝගික අත්දැකීම් අනුව වැඩිදියුණු කර තිබෙනවා. අපගේ අරමුණ වන්නේ පාරිභෝගිකයාගේ නිවාඩු වෙන්කරවා ගැනීමේ සිට ගමනේ සෑම පියවරකටම වටිනාකමක් එක් කිරීමයි. ඒ වගේම අපගේ ජාලයේ සෑම තැනකම සංචාරකයින් ශ්‍රී ලංකාවේ නිවාඩුවට ගෙන්වා ගැනීමට දිරිමත් කරනවා.” යනුවෙන් ඒ මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් හොලිඩේස් කළමනාකරු බුද්ධික හේවාවසම් මහතා මෙසේ සඳහන් කළේය. “පුළුල් පරාසයක සංචාරක සේවා සපයන්නන් සමඟ හවුල්කාරිත්වයන් සහ සම-අලෙවිකරණ ව්‍යාපාර හරහා ශ්‍රීලංකන් හොලිඩේස් ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ සිය ප්‍රවේශය පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපගේ පාරිභෝගිකයින්ට අද්විතීය නිෂ්පාදන සැපයීමට හැකියාව ඇති ශ්‍රී ලංකාවේ නව්‍ය සහ විශේෂිත කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සංචාරක ව්‍යවසායන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද අපි සැලසුම් කරනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා www.srilankanholidays.com හි නව වෙබ් අඩවියට පිවිසෙන්න.

Visits: 71