ලංකාවේ වත්මන් අර්බුදය ගැන දරුවන් යොදා ගෙන සැකසූ යුනිසෙෆ් ප්‍රවර්ධනයට විරෝධය

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දෙන ආර්ථික අර්බුදය සහ ඉන් දරුවන්ට එල්ල වන බලපෑම මූලික කරගනිමින් එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් දියත් කළ ප්‍රවර්ධන වැඩසටහනට මේවනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.

පසුගිය අප්‍රේල් 26 වැනිදා යුනිසෙෆ් ශ්‍රී ලංකා මගින් මෙම වැඩසටහන දියත් කළ අතර, එහිදී දරුවන් 06 දෙනෙකු සම්බන්ධ කරගනිමින්, ඔවුන්ගේ ඡායාරූපද සහිතව මෙම අර්බුදය නිසා ඔවුන් මුහුණ දී ඇති තත්ත්වයන් දක්වා තිබුණි.

මේ අතර එක් දරුවෙකු ඉන්ධන නොමැතිවීම නිසා තමන්ට පාසැල් යෑමට නොහැකි වී තිබෙන බව පවසයි. එසේම තවත් දරුවෙකු සිය පියා ඉන්ධන පෝලිම්වල පැය ගණනක් වැය කිරිම නිසා ඔහු හා සිටීමට ඇති  කාලය අහිමිව ඇතැයි පවසයි. තවත් දරුවෙකු විදුලිය නොමැති නිසා තමන්ට සහ කුඩා නැගණියට රාත්‍රියට නින්ද නොයන බව කියයි. තවත් දරුවෙකු භාණ්ඩ මිල ඉහළ යෑම නිසා සිය සිහින පා පැදිය මිලදී ගැනීමට නොහැකි වී ඇතැයි පවසයි. එසේම තවත් දරුවෙකු සතියකට වරක් චීස් ආහාරයට ගත් බවත්, ආනයනික භාණ්ඩ මිල ඉහළ ගිය නිසා දැන් තමාට චීස් කෑමට නොහැකි බවත් පවසයි.

මෙය අර්බුදය සම්බන්ධයෙන් දරුවන්ගේ අදහස් නිදහස්ව ප්‍රකාශ කිරිමට ලබාදුන් අවස්ථාවක් බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

කෙසේ වෙතත් මෙම අදහස් අතරින් සතියකට වරක් චීස් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ දරුවාගේ සටහන ඉවත් කිරීමට යුනිසෙෆ් සංවිධානය ඊටපසු දිනය එනම් 27 වැනිදාම පියවර ගෙන තිබුණි.

ඊට හේතු වූයේ එම සටහනට එරෙහිව සමාජ මාධය තුළ පැන නැගුණු විරෝධයයි. ඇතැම් පිරිස් මෙවැනි ප්‍රවර්ධනයක් යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් මේ මොහොතේ සිදු කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න විමසයි. එසේම මෙවැන්නක් සඳහා වියදම් කළ මුදල් පවා අපතේ යෑමක් ලෙස ඔවුන් සඳහන් කරයි. එසේම මෙවැන්නක් සඳහා දරුවන් යොදා ගැනීම ගැනද චෝදනා එල්ල වෙයි.

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද ජනප්‍රිය සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් ද මේ ප්‍රවර්ධන වැඩසටහන වෙත අදහස් දක්වමින්, එය විශ්වාස කළ නොහැකි, වගකීම්රහිත සහ කිසිදු හේතුවක් නොමැති ප්‍රවර්ධනයක් බව පෙන්වා දෙයි. ඒ අනුව සිය මුදල් නාස්ති කිරීමට පෙරාතුව වර්තමාන අර්බුදය ගැන දැන සිටීම මෙන්ම තමන් ආමන්ත්‍රණය කරන පිරිස ගැන අවබෝධයෙන් සිටීම වැදගත් බව ඇය පවසයි.

එසේම ඩේලිමිරර් පුවත්පතේ උපකර්තෘවරියක වන ජමීලා හුසේන්, මෙය පැහැදිලිවම අර්ථයක් රහිත ප්‍රවර්ධනයක් බව පවසයි. එසේම මෙම කාරණාවේදී දරුවන් ඉස්මතු නොකරන ලෙසත්, මෙම මුදල් වෙනත් යහපත් දෙයකට යොදා ගන්නා ලෙසත් යුනිසෙෆ් සංවිදානයෙන් ඉල්ලායි.

මෙරට ප්‍රකට ආයෝජකයෙක් වන නිමල් පෙරේරා මහතාද මෙම යුනිසෙෆ් ශ්‍රී ලංකා ප්‍රවර්ධනය පිළිබඳ අදහස් දක්වමින්, එය පැහැදිලිවම වැරදි ක්‍රමෝපායක්, වැරදි සංකල්පයක් සහ මුදල් අපතේ යැවීමක් ලෙස පවසයි.

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන කාලිංග ඇතුලත්මුදලිද අදහස් දක්වමින්, යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකාව යනු කුමක්ද යන්න සහ එහි ජනතාවට වුවමනා මොනවාද යන්න තේරුම් ගත යුතුව ඇති බවත්, මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී අඩුම තරමින් කුඩා හෝ මොළයක් ඇති අයෙකු යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

මේ අතර තවත් පිරිස් යුනිසෙෆ් ශ්‍රී ලංකා අමතමින්, සිය මුදල් වියදම් කිරීමට ක්‍රමයක් නොමැති නම් එක්කෝ මේ මොහොතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙයි.

කර්තෘ සටහන – වගකිවයුතු මාධ්‍යයක් ලෙස අපිද මෙම ලිපියේදී එම ප්‍රවර්ධනයට යොදා ගත් දරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධියට පත් නොකිරීමට වගබලා ගත්තෙමු.)

Visits: 147