EXPO වාර්තාවත් සමගින් දෙවැනි දිනටත් වෙළෙඳ පොළ ගනුදෙනු සාර්ථකව

අද (අප්‍රේල් 28) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඊයේ දිනයේදී මෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම අද දිනයේදී රට පුරා පැවැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතුළු විරෝධතා පසෙකලා, කොටස් වෙළෙඳ පොළ තුළ වැඩි වශයෙන් කොටස් මිලදී ගැනීමක් වෙත යොමුවීමට ආයෝජකයන් පියවර ගෙන තිබුණි.

එහිදී විශේෂයෙන්ම අද නිකුත් වුණු එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි අවසන් කාර්තුමය වාර්තාවේ ඇති ධනාත්මක ඉපැයීම් මේ සඳහා හේතුවිය. ඒ අනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 50%ක් සඳහා දායකවීමට එක්ස්පෝ ලංකා සමත්ව ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,152.36ත් ඒකක 7,714.38ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,611.43ක් බවට පත්විය. එය ඊයේ (අප්‍රේල් 27) දිනයට සාපේක්ෂව ඒකක 330.91ක් එනම් +4.55%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සිදුවුණු ඩයලොග් ආසිආටා සහ මෙල්ස්ටාකෝර්ප් ගනුදෙනු පිරිවැටුම සඳහා රුපියල් මිලියන 338ක එනම් 15.4%ක දායකත්වයක් ලබා දී තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+52), එල්ඕල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+47), හේලීස් පීඑල්සී HAYL (+19.4), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+16.3), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+13.93), සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී SFCL (-20.4), සීටීහෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-10.3), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-9.9), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-3.1), සණස සංවර්ධන බැංකුව SDB (-2.2) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 154ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 43ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,503.73ක අගයක් ගත් අතර, එය ඊයේ (අප්‍රේල් 27) ‍ට සාපේක්ෂව ඒකක 147.02ක එනම් +6.24%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.98ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අප්‍රේල් 27) වාර්තා කළ රුපියල් බිලියන 2.18ට  සාපේක්ෂව 36.6% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.2ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 41.52%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 105.05ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 107.95ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 2.90කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.38 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  27.73කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 38.66ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.58ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 53%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 370ක සහ රුපියල් මිලියන 300ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 129