අදානි මාධ්‍ය ව්‍යාපාරයටත් පිවිසෙයි – AMG Media Networks නමින් සමාගමක් පිහිටුවයි

අදානි සමූහ ව්‍යාපාරය හිමි ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි එරට මාධ්‍ය ව්‍යාපාරය වෙතත් පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

සිය අදානි එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගම යටතේ පසුගිය අප්‍රේල් 26 වැනිදා පිහිටුවාගත් AMG Media Networks Ltd. හරහා ඔහු මෙලෙස මාධ්‍ය ව්‍යාපාරය වෙත පිවිස ඇත.

මෙම සමාගම අදානි එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි.

මෙම නව සමාගම මගින් මාධ්‍ය හා සම්බන්ධ ක්‍රියාකාරකම්, එනම් ප්‍රකාශනය, දැන්වීම්කරණය, විකාශනය, බෙදාහැරීම ඇතුළු කාර්යයන් සිදු කරනු ඇතැයි සඳහන් වෙයි.

ඉන්දියාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව මෙම AMG Media Networks Ltd. සමාගෙම් අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සිටියි. අදානි එන්ටර්ප්‍රයිසස් සමාගමේ අධ්‍යක්ෂ ප්‍රනාව් විනෝද් අදානි, මීඩියා ඉනිෂියේටිව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – ප්‍රධාන කර්තෘ සන්ජේ පුගාලියා සහ අදානි සමූහයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී සුදිප්ත භටට්චාර්ය ඔවුන් තිදෙනා වෙයි.

මේ අතර අදානි එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගම මගින් පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවේ Quintrillion Business Media Private Ltd. සමාගමේ සුළු කොටස් ප්‍රමාණයක් අත්පත් කරගත් අතර, එම සමාගම ඉන්දියාව තුළ බ්ලූම්බර්ග් ව්‍යාපාරික පුවත් මාධ්‍ය ආයතනයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය BloomberQuint සමාගමේ හිමිකාරීත්වය සහිත සමාගමද වෙයි.

Visits: 122