SLIIT හි CocoRemedy ව්‍යාපෘතියට WSA 2021 හිදී ලෝක ශූරතාවක් හිමිවෙයි

SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.

WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) ක්‍රියාමාර්ග ගැනීමට සහ ප්‍රගතිය සහතික කිරීමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICTs) භාවිතා කරන තරුණයින් හඳුනාගැනීමේ එක්සත් ජාතීන්ගේ මුලපිරීමකි. 2021 දී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉහළ තරඟකාරී ලෙස පිළිගත් විනිශ්චයන් සහිත රටවල් 200කට ආසන්න ප්‍රමාණයක අයදුම්කරුවන්ගෙන් ජයග්‍රාහකයින් 45 දෙනෙකු තෝරා ගන්නා ලදී.

SLIIT පරිගණක පීඨයේ උපාධිදාරීන් වන සමිත විදානආරච්චි, ඤානෝද් චතුරමදු අකලංක, ටිනලි ගුණසේකර සහ දිව්‍යානි රාජපක්ෂ යන මහත්ම මහත්මීන් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබීය.SLIIT ආයතනයේ සහකාර මහාචාර්ය ආචාර්ය ජනක විජේකෝන්, දිලානි ලුණුගලගේ සහ ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය නයනි ආරච්චිගේ යන මහත්ම මහත්මීන් එක්ව එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී.

CocoRemedy ව්‍යාපෘතිය යනු නවීන තාක්‍ෂණයන් ප්‍රදර්ශනය කරමින්, පොල් කර්මාන්තය සඳහා රෝග කාරක සහ පළිබෝධ ආක්‍රමණයන් පිළිබඳ නිරීක්ෂණ සහ හඳුනාගැනීම සඳහා නිර්මාණය කරනු ලැබූ පළමු ජංගම සහ වෙබ් පාදක යෙදුම වේ. විශේෂයෙන්ම පොල් වගාව විනාශ කරන වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය (WCLWD) සහ පොල් දළඹු උවදුර (CCI) කළමනාකරණය කිරීම සහ වගාකරුවන් පීඩාවට පත් කරන ගැටලු මඟහරවා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියේ නවීන තාක්ෂණික විසඳුම්, කෘතීම බුද්ධිය (Artificial Intelligence) , ගැඹුරු අධ්‍යනයන්, රූප සැකසීම ආදී සමූහ මූලාශ්‍ර ආදිය භාවිතා කරයි.

ICTA විසින් සංවිධානය කරන ලද ‘e-Swabhimani 2021’ හි Digital Social Impact සම්මාන ප්‍රධානයේදී ද CocoRemedy ව්‍යාපෘතිය සම්මානයට පාත්‍රවිය. WSA සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාමයෝජනා අටක් ඉදිරිපත් වූ අතර රටට කීර්තියක් අත්පත් කර දීමට හැකි වුයේ ඉන් ජයග්‍රාහකයින් දෙදෙනෙකුට පමණි.

මෙම උපහාරය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය ජනක විජේකෝන් මහතා පැවසුවේ ” WSA තරඟාවලියේදී ශ්‍රී ලංකාවට මෙතෙක් ශුරතාවයක් හිමිවී නොමැති බවත් එම නිසා මෙම ජයග්‍රහණය අපේ ජාතියට ඓතිහාසික වශයෙන් වටිනාකමක් හිමිවූ අවස්ථාවක් බවය. CocoRemedy වේදිකාව ප්‍රජාවන් සහ සමාජය තුළ ක්ෂණික බලපෑමක් ඇති කිරීමට

හැකියාව ඇති විශිෂ්ඨ වූ ඩිජිටල් විසඳුමක් ලෙස හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව අප අතිශයින් සතුටු වන අතරම ලොව පුරා සිදුවෙමින් පවතින ඩිජිටල් විප්ලවය සහතික කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ කණ්ඩායමට සියලු ප්‍රශංසාව හිමිවන බවත් මේහි සැබෑ ප්‍රතිඵල දේශීය විසඳුම් සංවර්ධනය කිරීමට දායක වනු ඇති” බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව WSA සඳහා 2009 වසරේ දී ප්‍රවේශ වී ඇති අතර එය සම්මාන 18ක් ප්‍රධානය කිරීම වෙනුවෙන් පවත්වා ඇත. ඒ අතරින් සම්මාන දෙකක් පමණක් අධ්‍යාපන කාණ්ඩයේ තරුණ අංශය සඳහා වෙන්ව තිබේ.

CocoRemedy ව්‍යාපෘතියේහි ජයග්‍රහණය ගෝලීය වේදිකාවක් මත තරුණ ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතා ඉස්මතු කර ඇත. එය පරිසර සහ හරිත බලශක්ති කාණ්ඩය යටතේ තරුණයින් විසින් සංවර්ධනය කරන ලද පළමු නිෂ්පාදන ව්‍යාපෘතිය වන අතර තරුණ නවෝත්පාදක කාණ්ඩයේ ශූරතාවය හිමි වූ එකම නිෂ්පාදනය ද වේ.

මීට අමතරව CocoRemedy ව්‍යාපෘතිය WSA හි ප්‍රධාන ඇගයුම් කාණ්ඩයක් වන ‘පරිසර සහ හරිත බලශක්ති’ කාණ්ඩයේ ද ලැයිස්තුගත කර ඇති අතර, මේ ඛණ්ඩය යටතේ තෝරා ගත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ එකම නිෂ්පාදනය වීමද විශේෂ ගෞරවයකට පාත්‍රවේ. එය මේ වසරේ අවසන් වශයෙන් තෝරා ලැයිස්තුගත කරනු ලැබූ විසඳුම් 119 න් එකකි.

Visits: 73