රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්

රජයේ වියදම් දැඩිව පාලනයට උපදෙස් දෙමින් මුදල් අමාත්‍යාංශයයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන් වෙතවිශේෂ චක්‍රලේඛයක් ඊයේ නිකුත් කර තිබේ.

මෙහි සඳහන් ආකාරය දැනට ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති අත්හිටුවන ලෙස දැනුම් දී ඇත. එසේම සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර තිබුණ ද, මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීම, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම, වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියලු නිලධාරීන් වෙත ලබා දීම වෙනුවට සත්‍ය වශයෙන්ම එකී කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීම යනාදී කරුණු ද එම චක්‍රලේඛයට ඇතුළත් වී තිබේ.

රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබාදෙන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම මෙන් ම සියලු සුබසාධන සහ සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර ඒවා අත්‍යාවශ්‍යයෙන් ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීමට ද එම විශේෂ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

මීට අමතරව විවිධ චක්‍රලේඛ මගින් මේ වනවිටත් හඳුන්වා දී ඇති ඉන්ධන, සන්නිවේදන දීමනා, ජල හා විදුලිබල වියදම් ආදි සීමා කිරීම් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම වැළැක්වීම, දේශිය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවැත්වීම ආදිය ද නව චක්‍රලේඛය මගින් තවදුරටත් බලාත්මක කර තිබේ.

“මෙම අභියෝගකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන නමුත්, ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් එතෙක් රාජ්‍ය වියදම් ඉතාම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව තිබේ.” යනුවෙන්ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කර ඇත.

Visits: 82