සතියේ දෙවැනි දිනයටත් විනාඩියක් තුළ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අත්හිටුවයි

අද (26දා) දිනය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වී විනාඩියක කාලයකට පසුව එහි ගනුදෙනු අත්හිටුවීමක් සිදු විය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5.47%කින් පහත වැටීම ඊට හේතුවයි. ඒ අනුව පෙරවරු 11.01ට නැවතත් ගනුදෙනු සඳහා වෙළෙඳ පොළ විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ මෙලෙස පෙරවරු 10.30ට ගනුදෙනු ආරම්භ වී විනාඩියකට පසුව වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමක් සිදු වූ දෙවැනි දිනය බවටත් අද පත්ව තිබේ.

ඊයේ දිනයේදී මෙලෙසින්ම පෙරවරු 11.01ට යළිත් වෙළෙඳ පොළ විවෘත කළ අවස්ථාවේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 10%කට වඩා පසු බැසීමත් සමගින්ම ඊයේ දිනය සඳහා වෙළෙඳ පොළ වසා දැමීම සිදු විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7‍්,097.64ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 416.21ක් එනම් 5.54%ක පසු බැසීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 2,226.74කට පත්ව ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 128.80ක් එනම් 5.47%ක පසු බැසීමකි.

මෙම අත්හිටුවීමත් සමගින්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු විනාඩි 05කට අත්හිටවූ අතර, ඊයේ දිනයේ සිට හඳුන්වා දුන් ලංසු වාරය විනාඩි 25ක් සඳහා ආරම්භ විය.

මෙම වෙන්දේසි වාරය ක්‍රියාත්මක කාලසීමාවේදී ආයෝජකයන්ට නව ඇනවුම් ඉදිරිපත් කිරීම, අවලංගු කිරීම හෝ දැනට ඉදිරිපත් කර ඇති ඇනවුම් වෙත වෙනස්කම් සිදු කිරීම හෝ සිදු කළ හැකිය.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ තීරණයේදී සඳහන් වූ ආකාරයට අද දිනයේදී ඇනවුම් පොත දර්ශනයවීමක් සිදු නොකරන බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

Visits: 93