විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර දී නැහැ – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලි ගාස්තු වැඩිකිරීම සදහා කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි. එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සන්ධ්‍යාවේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු ය. එමෙන් ම ගාස්තු සංශෝධනයක් කෙරෙන්නේ නම් සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත්කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වේ.

එම මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පවත්වනු ලබන බවත් එම කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මධ්‍යම රාත්‍රියේ සිට ගාස්තු වැඩිකිරීමක් සිදු වනු ඇතැයි විදුලි පාරිභෝගිකයා සහ මහජනතාව අනියත බියක් ඇතිකර යුතු නොමැති බවත් සභාපතිවරයා පවසයි.

මේ පිළිබද වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

“නියාමනයක් සිදු නොවන කර්මාන්ත වල මධ්‍යම රාත්‍රියෙහි භාණ්ඩ මිල ඉහල දානවා වගේ විදුලි ගාස්තු ඉහල දමන්න ඉඩ දෙන්නෙ නැහැ. නියාමනයක් තිබෙන විට විධායකයට නැත්නම් විෂයභාර අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම් වරයාට හෝ අදාල ආයතනයට ගාස්තු ඉහල දැමීය නොහැකියි. ලංකා විදුලිබල මණ්ඩලය අප වෙත යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඩොලරය පා කිරීමට පෙර ඉදිරිපත් කල යෝජනාවට පසුව වත්මන් තත්වය යටතේ නව යෝජනාවක් පසුගියදා අප වෙත ඉදිරිපත් කලා. අපි මේ යෝජනාව මේ වන විට අධ්‍යයනය කරනවා. ගාස්තු සමාලෝචනය සදහා අනුමත ක්‍රමවේදයක් තිබෙනවා.  කුමන වියදම් ද අනුමත කළ හැකිද යන්න මාර්ගෝපදේශ ඒ ක්‍රමවේදය තුල ඇතුළත්.” ඒ මහතා පවසා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සභාපතිවරයා, “ගාස්තු සාමාලෝචනයකදි-අපේ අධ්‍යනයෙන් අනතුරුව ගාස්තු සංශෝධන යෝජනාව මහජන අදහස් සදහා ප්‍රසිද්ධ කරනවා. මේ මහජන උපදේශනයේදී සියලු පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. අවසාන වරට විදුලි ගාස්තු සංශෝධයක් සිදුකලේ 2014 වසරේදී. එහිදී සියයට 25කින් විදුලි ගාස්තු අඩුකලා. පසුගිය වසර 8ක් පුරාම විදුලි ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදී පාලනය කරන්න අපට හැකි වුණේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශක්තිමත් නියාමන අධිකාරියක් විදියට සිය කාර්යය ඉටුකල නිසයි. රටේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද මේ අකාරයට නියාමනයක් හදුන්වාදිය යුතුයි.”

විදුලි ජනනයේදී දී ආනයනික ගල් අගුරු හා ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධන මත වැඩි වශයෙන් රදා පැවතීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීම සදහා කරන වියදම් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සදහන් කලේ ය.

“මේ වන විට විදුලිබල මණ්ඩලයේ මාසික ආදායම රුපියල්බිලියන 22ක් පමණ. මෙයින් රුපියල් බිලියන 18ක් වැයවෙනවා පුද්ගලික තාප බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට. ගල් අගුරු හා ඩීසල් මිල 130%කින් වැඩි වෙලා. රුපියල අවප්‍රමාණය වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම් 45%කින් ඉහල ගොස් ඇති බවට අපට දන්වා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන වියදම් වලින් 90%ක් වැය වන්නේ ගල් අගුරු හා ඩීසල් ඇතුළු ආනයනික ඉන්ධන සදහා. ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවට අනුව මේ වන විට විදුලි ඒකකයක් සදහා වැයවන පිරිවැය රුපියල් 53ක්. අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා යම් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව  අපි පිළිගන්නවා. සියළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර සාධාරණ තීන්දුවක් ගන්නා බව කිව යුතුයි.” ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 68