ලංකා දුම්කොළ සමාගම 2021 දී රුපියල් බිලියන 111.25ක් රජයට බදු ගෙවලා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම (CTC.N0000) 2021 වසර සඳහා රජය වෙත රුපිබල් බිලියන 111.25ක බදු ගෙවීමක් සිදු කර ඇතැයි පවසයි.

2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එම සමාගම මගින් ඊයේ (25දා) ප්‍රසිද්ධ කළ වාර්ෂික වාර්තාව තුළ මේ කරුණු සඳහන්ව තිබේ.

ඒ අනුව මෙය පසුගිය වසරේදී රජයට හිමි වුණු බදු ආදායමෙන් 6%ක ප්‍රතිශතයක් වන බවත්, තවදුරටත් ශ්‍රී ලංකා රජයට වැඩිම බදු ආදායමක් ලබා දෙන තනි සමාගම බවට ලංකා දුම්කොළ සමාගම පත්ව සිටින බවත් එම සමාගම මෙහිදී පවසා සිටියි.

මෙම වාර්ෂික වාර්තාවට අනුව 2021 වසරේදී සමාගමේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 134.37කි. එය 2020 වසරේදී සමාගම වාර්තා කළ රුපියල් බිලියන 132.15ක පිරිවැටුම ට සාපේක්ෂව 2%ක වර්ධනයකි. එසේම මේ වසරේදී එම සමාගම ලබා ගෙන ඇති ආදායම රුපියල් බිලියන 33.62ක් වන අතර, 2020 වසරේදී එය රුපියල් බිලියන 32.07ක් විය.

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ එකම බලපත්‍රලාභී දුම්වැටි නිෂ්පාදකයා වන්නේ ලංකා දුම්කොළ සමහාගමයි. එසේම සිය සමාගම හරහා අද වනවිට එම සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා වන දායකත්වයේ කැපී පෙනෙන භූමිකාවක් රඟදක්වන බවත් පවසයි.

ඒ අනුව 2021 වසර අවසන් වනවිට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 164.47ක් ලෙස සටහන්ව තිබේ.

Visits: 86