අදානි සමූහය ඉන්දියාව තුළ හොල්සිම් සිමෙන්ති ව්‍යාපාරය අත්පත් කරගැනීමේ සූදානමක

ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි සමූහය ලොව මුල් පෙළේ සිමෙන්ති සමාගමක් වන හොල්සිම් සමාගම මගින් එරට ක්‍රියාත්මක ව්‍යාපාරය අත්පත් කරගැනීමේ සූදානමක සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජනප්‍රිය සිමෙන්ති සමාගමක් වන අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගමෙහි වැඩි කොටස් හිමිකාරීත්වය ලබා ගැනීම සඳහා වන එකඟතාවකට පිවිසෙමින් මෙම අත්පත් කරගැනීම සිදු කිරිම සැලසුම වී තිබේ. ඒ සඳහා වන සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, බොහෝ දුරට ඉදිරි දින කිහිපය තුළදී අදානි සමූහය සහ අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගම අතර මෙම එකඟතාවට අත්සන් තබනු ඇතැයි වාර්තා සඳහන් කරයි.

මීට අමතරව අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගම මිලදී ගැනීම සඳහා දැනටමත් JSW Group ව්‍යාපාර සමූහයද මිල ගණන් ඉදිරිපත් කර තිබෙන බවත් පැවසෙයි. එම සමාගම JSW Cement නමින් නිෂ්පාදන සිදු කරයි.

අප්‍රේල් මාසය තුළදී අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගමේ කොටසක වටිනාකම 26%කින් ඉහළ ගොස් ඇති අතර, සමාගමේ වෙළෙඳ පොල වටිනාකම ඩොලර් බිලියන 10ක් බවට පත්ව තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගමේ 63.1%ක කොටස් හිමිකාරීත්වයක් හිමිව පවතින්නේ හොල්සිම් සමාගමටයි.  එසේම ACC නමින්ද තවත් පරිපාලිත සමාගමක් ඉන්දියාව තුළ ඔවුන්ට අයත්ය. සමාගම ඉන්දියාව තුළ සිය ව්‍යාපාර කටයුතු අලෙවි කිරිමට අදහස් කරගෙන සිටින බව පසුගියදා බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත පවසා තිබේ.

මේ අතර හොල්සිම් සමාගම ලොව පුරා පිහිටි සිය වැදගත් නොවන වත්කම් අලෙවි කිරීමේ නිරතව සිටින අතර, එහි අවස්ථාවක් ලෙස පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එම සමාගම බ්‍රසීලයේ පිහිටි සිය ව්‍යාපාරය ඩොලර් බිලියන 1ක මුදලකට අලෙවි කර තිබේ. එසේම ඉදිරියේදී සිම්බාබ්වේහි පිහිටි සිය ව්‍යාපාරයත් අලෙවි කිරීමට සමාගම සැලසුම් කර ඇත.

1983 වසරේදී පිහිටවුණු අම්බුජා සිමෙන්ට්ස් ලිමිටඩ් සමාගම සතුව අද වනවිට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 31ක ධාරිතාවක් පවතින බව එහි වෙබ් අඩවිය සඳහන් කරයි. එහිදී සමාගම සතුව නිෂ්පාදන කර්මාන්තශාලා හයක් ඇති අතර, සිමෙන්ති ඇඹරුම් ඒකක අටක්ද සමාගම සතුය.

මේ අතර අදානි සමූහයට අයත් අදානි එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගම සතුව මේ වනවිටත් සිමෙන්ති සමාගමක් දෙකක් පවතී. අදානි සිමෙන්ටේෂන් ලිමිටඩ් ඉන් එක් සමාගමකි. එසේම අදානි සිමෙන්ට් නමින් තවත් සමාගමක් 2001 වසරේදී පිහිටුවා තිබේ. මේ අතරින් අදානි සිමෙන්ටේෂන් ලිමිටඩ් සමාගම ගුජරාටය තුළ නවතම කර්මාන්තශාලාවක් ඉදිකිරිමට ද සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Visits: 155