ASPI සහ S&PSL20 කඩාවැටීමක – ගනුදෙනු විනාඩි 05කට අත්හිටුවයි – වෙන්දේසි වාරය ඇරඹෙයි

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පෙරවරු 10.30ට ආරම්භවීමත් සමගින්ම සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 7,593.39ක් දක්වා පහතවැටුණි. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 541.86ක හෙවත් 6.66%ක කඩා වැටීමකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ගනුදෙනු ආරම්භයත් සමගින්ම ඒකක 2,438.58ක් දක්වා පහත වැටුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 185.32ක් එනම් -7.06%ක පසුබැසීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය 5%කින් පසු බැසීමත් සමගින්ම අද පෙරවරු 10.31 සිට 11.01 දක්වා විනාඩි 30ක කාලයක් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීම සිදුවිය.

මේ අතර පෙරවරු 10.31 සිට 10.36 දක්වා විනාඩි 05ක කාලයක් කොටස් හුවමාරුව වසා දැමුණු අතර, අද දිනයේ සිට හඳුන්වාදුන් වෙන්දේසි වාරය 10.36 සිට 11.01 දක්වා ක්‍රියාත්මක වන බවත් කොටස් හුවමාරුවෙහි බලධාරීන් පවසයි.

මෙම වෙන්දේසි වාරය ක්‍රියාත්මක කාලසීමාවේදී ආයෝජකයන්ට නව ඇනවුම් ඉදිරිපත් කිරීම, අවලංගු කිරීම හෝ දැනට ඉදිරිපත් කර ඇති ඇනවුම් වෙත වෙනස්කම් සිදු කිරීම හෝ සිදු කළ හැකිය.

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය අප්‍රේල් 08 වැනිදායින් පසුව යළිත් එහි ගනුදෙනු ආරම්භ කෙරුණේ අද (අප්‍රේල් 25) දිනයේදීය.

Visits: 125