LUMINEX මූලික මහජන කොටස් නිකුතුව මැයි 12 වැනිදාට කල්යයි

මෙරට තුළ දුරකතන සන්නිවේදන, විදුලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ ජල සහ අපජල ප්‍රවාහනපද්ධති ඉදිකිරීම යන අංශයන්හි සේවා සම්පාදකයෙකු වන Luminex Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි විවෘත කිරිමට සැලසුම් කර තිබූ මූලික මහජන කොටස් නිකුතුව (IPO) කල්දමා ඇතැයි පවසයි.

අද (22දා) දිනයේදී Luminex Limited සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ගත් තීරණයකට අනුව මෙම කල් දැමීම සිදු කර තිබේ.

විශේෂයෙන්ම වර්තමානයේදී රටෙහි සමාජ-ආර්ථික තත්ත්වය හේතුවෙන් මතුව ඇති බලාපොරොත්තු නොවූ වාතාවරණය හේතුවෙන් සහ මෙම සතිය පුරා කොළඹ කොටස් හුවමාරුව ගනුදෙනු සඳහා වසා තැබීම යන කාරණා මීට හේතුව බව සඳහන් වෙයි.

ඒ අනුව ලබන අප්‍රේල් 26 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබූ Luminex Limited මූලික මහජන කොටස් නිකුතුව ලබන මැයි 12 වැනිදා විවෘත කෙරෙනු ඇති බවත්, එය ජූනි 01 වැනිදා වසා දැමෙනු ඇති බවත් එම සමාගම සඳහන් කර සිටියි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී Luminex Limited සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 31.2ක් (31,250,000ක්) නිකුත් කිරිමට සැලසුම් කර ඇති අතර, කොටසක වටිනාකම රුපියල් 8ක් ලෙස සඳහන් කර තිබේ. මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල්මිලියන 250ක් (250,000,000ක්) ලෙස ගණන් බලා ඇත.

මෙම මූලික කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස නවරා කැපිටල් ලිමිටඩ් සමාගම ක්‍රියා කරයි.

Luminex Limited සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය අප්‍රේල් 07 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, මේ වනවිට එය සමාගමේ නිල වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Visits: 153