ජනතාවගේ කැමැත්තට ගරු කරන්නැයි ජෝන් කීල්ස් සියලුම දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී ආර්ථික, දේශපාලනික හා සාමාජයීය වශයෙන් මෙතෙක් මුහුණදුනි බරපතලම අර්බුදයට මුහුණදෙමින් සිටින බව මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව පවසා සිටියි. එහිදී මූලිකවම රාජ්‍ය පාලනය, වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරන අදහස් සමග එම සමාගමද එකඟ වන බව මෙහිදී අවධාරණය කෙරී ඇත. ඒ අනුව රටේ දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන බවත් එම සමාගම මෙහිදී සඳහන් කර තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ නිවේදනය මෙසේ දැක්වෙයි,

අපගේ රට ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් මෙතෙක් මුහුණ දුන් බරපතළම අර්බුදයට මේ වනවිට මුහුණ දෙමින් සිටී .

ආයතනික පුරවැසියෙකු සහ ව්‍යාපාරික ප්‍රජාවෙහි සාමාජිකයෙකු වශයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතිශය ගැටලුකාරී ආර්ථික තත්ත්වයන් පිළිබඳව සංවේගයට පත් වී සිටින අතර, මෙම ගැටලු සඳහා ඉක්මනින් පිළියම් යෙදිය යුතු බව දැඩි ලෙස විශ්වාස කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම සුභවාදී ප්‍රවණතා ලෙස හඳුනා ගන්නා අතරම, රටේ දේශපාලනික හා සමාජයීය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරන්නෙමු. ආර්ථික ව්‍යසනයක් වළක්වා ගනිමින් අප අපේක්ෂා කරන ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා එය අත්‍යවශ්‍ය මූලික සාධකයක් වනු ඇත.

අපි දැන් පරිවර්තනයේ නිමේශයකට පැමිණ සිටින්නෙමු. පවතින අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට රටට හැකියාව ලැබීමට නම්, අන් සියල්ලට පෙර සමාජයීය ස්ථාවරත්වය ළඟා කරගත යුතු වේ. පසුගිය දිනවල වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ, අපගේ සහෝදර පුරවැසියෙකුගේ මරණය සම්බන්ධ ඛේදනීය පුවත අප කනස්සල්ලට පත්කරයි. රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ පීඩනයන් අපට හොඳින් වැටහෙන අතර, රාජ්‍ය පාලනය, වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරන අදහස් සමග අපි ද එකඟ වන්නෙමු.

එමෙන්ම, ජනතාව ඉල්ලා සිටින, අප ද සහය දක්වන ඉල්ලීම් වලට තිරසාර විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙසත්, එසේ නොවුවහොත් සමාජ නොසන්සුන්තාවන් දිගින් දිගටම පැවතීමේ අවදානම පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසත් අපි රටේ නායකත්වයෙන් ඉල්ලා සිටින්නෙමු. රටේ සියලුම ප්‍රධාන පාර්ශ්වයන්ගෙන් අප කරන ඉල්ලීම වන්නේ, රටේ ජනතාවගේ අපේක්ෂාවන්ට ගරු කරමින්, රටේ ව්‍යවස්ථා රාමුව ඇතුළත පොදු එකඟතාවකට පැමිණෙන ලෙසයි.

ජෝන් කීල්ස් සමූහය සාමකාමී සමාජ ව්‍යාපාරවලට සහභාගී වීමේ අයිතියට ගරු කරන බවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ විරෝධතා දැක්වීමේ අයිතියට අඛණ්ඩව සහය දක්වන්න බවත්, පසුගිය අප්‍රේල් 4 වැනි දින නිකුත් කරන ලද නිවේදනය මගින් අපි අවධාරණය කළෙමු. අප මුහුණදෙමින් සිටින මේ බරපතළ තත්ත්වයන් හමුවේ වුවද අපගේ බලාපොරොත්තු දල්වන ප්‍රධානතම සාධකයක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීම් වලට ප්‍රමුඛත්වයක් හිමි වී තිබීම සහ, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ගෞරවණීය හා අවංක ලෙස කටයුතු කරන මෙන් ජනතාව එකාවන්ව ජනතා නියෝජිතයන්ට බලකර සිටිනු දක්නට ලැබීමයි. සාමූහික හැඟීමෙන් යුතුව කටයුතු කිරීම මගින් අපට මෙම අභියෝග ජයගැනීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය එමගින් අපගේ සිත් තුළ ඇති වේ.

ශ්‍රී ලංකාව තුළ වසර 150 කට අධික ඉතිහාසයක් හිමි වගකිවයුතු ආයතනයක් වශයෙන්, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහ අපගේ අනාගත පරපුර වෙනුවෙන් වඩාත් ශක්තිමත් හා යහපත් පාලනයක් සහිත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට සහාය වීම සඳහා අපගේ කාර්යභාරය අපි අඛණ්ඩව ඉටු කරන්නෙමු. අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන් සතු හැකියාව මෙමගින් යළි යළිත් සනාථ වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

එම නිසා, අප රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රටට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා දරන්නා වූ මේ උත්සාහය හමුවේ එකමුතුකමින් යුතුව කටයුතු කරන ලෙසයි. එමෙන්ම මෙම තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, ජනතාවගේ කැමැත්තට ගරු කරමින්, හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි රටේ දේශපාලන නායකයන් සියලුම දෙනාගෙන් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

Visits: 60