IMF ගිය ශ්‍රී ලංකා නියෝජිතයන් ලෝක බැංකුවෙහි දකුණු ආසියා උපසභාපති හමුවෙයි

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර ක්‍රියාත්මක සාකච්ඡා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරට ගොස් සිටින මෙරට නියෝජිතයන් පිරිස හමු වූ බව ලෝක බැංකුවෙහි දකුණු ආසියානු කලාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් උපසභාපතිවරයා මේබව පවසා තිබේ. ඔහු සමගින් තවත් ලෝක බැංකු නියෝජිතයන් පිරිසක්ද ඊට සහභාගි වී ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හාර්ට්විග් මහතා, ශ්‍රී ලංකාවේ මුදල් ඇමති අලි සබ්‍රි සහ මහ බැංකුවෙහි අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමගින් ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කර තිබේ.

එසේම වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා වන ක්‍රියාමාර්ග, රටෙහි ස්ථාවරත්වය සහ යථාවත්වීම සඳහා ලබා දිය හැකි දායකත්වය මෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගත හැකි පියවර මොනවාද යන්න මෙහිදී සාකච්ඡා කළ බවත් ලෝක බැංකුවෙහි දකුණු ආසියානු කලාපීය උපසභාපතිවරයා පවසා තිබේ.

හාර්ටිව්ග් මහතාගේ පාලන ප්‍රදේශය වෙත ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියානු කලාපයේ පිහිටි අෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පාකිස්තානය යන රාජ්‍යයන් අයත් වෙයි.

Visits: 91