ශ්‍රී ලංකාව සමගින් වන ඕනෑම එකඟතාවකට “පැහැදිලි සහතිකයක්” අවශ්‍යයි – IMF කියයි

ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කිරිමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිට මූලික අදියරේ පවතින බවත්, එම ණය ප්‍රදානය පිළිබඳව එකඟතාවකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සතුව දැනට ඇති ණය ආපසු ගෙවීම පිළිබඳ තිරසාර මාර්ගයක් පිළිබඳව “පැහැදිලි සහතිකයක්” ලබාදීම අනිවාර්යය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බව රොයිටර් පුවත් සේවය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී මසහිරෝ නොසාකි විසින් එම පුවත් සේවය වෙත එවන ලද ඊ-මේල් පණිවුඩයක් මගින් මේ බව සඳහන් කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පසුගිය අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සමගින් මෙම ණය ලබා දීමේ ඇති හැකියාව සහ ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් මෙහෙයුම් ප්‍රධානියා පුවත් සේවය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත.

“මෙම IMF සහාය යටතේ ක්‍රියාත්මක වැඩසටහන ශ්‍රී ලංකාවේ දැනට ඇති ගෙවුම් ශේෂයේ අර්බුද සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකි ඉක්මණින්ම නැවතත් තිරසාර සංවර්ධන මාවතක් වෙත යොමු කරවීමක් වෙනුවෙන් නිර්මාණය කළ යුතුව තිබෙනවා.” යනුවෙන් නොසාකි මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම මෙම IMF සාකච්ඡා සඳහා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්‍රි මහතා විසින්, පසුගිය සඳුදා දිනයේදී සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම ගෙවුම් ශේෂයේ අර්බුදය විසඳීම සඳහා ඉක්මණින්ම අවශ්‍යවන සහයෝගයක් ලෙස කඩිනම් මූල්‍ය ආධාරයක් (RFI) ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම අදහස් දැක්වීම සිදුව තිබෙන බව රොයිටර් පුවත් සේවය පවසයි.

“මෙතැනදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය සහ ඒ හේතුවෙන් විශේෂයෙන්ම දුප්පත් සහ අනතුරුට භාජනය විය හැකි ජනතාව මුහුණ දෙන අසීරුතාවන් ගැන අපි දැඩි අවධානයෙන් පසුවෙනවා.” යනුවෙන් නොසාකි මෙහිදී පවසා තිබේ.

එහෙත් පසුගිය මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් සකස් කළ වාර්ෂික ආර්ථික දැක්මට‍ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මේ වනවිට ඔරොත්තු දිය නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇත බවත්, කඩිනම් මූල්‍ය ප්‍රදානයක් ඇතුළු තවත් IMF ණය ප්‍රදානයක් වෙත යාමට පෙරාතුව එම ණය පිළිබඳ තිරසාරත්වයක් ඇති කරගත යුතුව ඇති බවට සඳහන් කෙරී ඇති බවත් නොසාකි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 213