ජනවාරි සිට මේ දක්වා සංචාරක පැමිණීම් ලක්ෂ 03 ඉක්මවයි

මේ වසරේ ජනවාරි 01 සිට අප්‍රේල් 18 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 329,095 ක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත උපුටා දක්වමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

එසේම අප්‍රේල් මාසයේ 01 සිට 18 දක්වා සංචාරකයන් 43,761 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඒ අතරින් වැඩිම සංචාරකයන් ප්‍රමාණය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. එය 8,743 ලෙස සටහන්ව තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 5,802 කි. ජර්මනියෙන් 4,908 ක්ද, ප්‍රංශයෙන් 2,759ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 2,645 මෙරටට පැමිණ ඇතැයි ද එම වාර්තා වේ සදහන් වේ.

මේ අතර පසුගිය කාලයේ දෛනික සංචාරක පැමිණිම 4000 ත් 5000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වන විට මෙරටට පැමිණෙන සංචාරක සංඛ්‍යාව 1000 ත් 2000 ත් දක්වා පහත බැස තිබේ.

රට තුළ පවතින තත්ත්වය තූළ සංචාරකයන්ගේ පැමිණීමේ පහත වැටීමක් දක්නට ලැබෙන බව අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා, ඉදිරියේදී සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව පවසා සිටියි. එසේම මෙරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් බාධාවකින් තොරව ලබාදීමටත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

Visits: 75