සොෆ්ට්ලොජික් සේවකයන් විරෝධතාවලට යෑම එහි සභාපති අවහිර කළේ නෑලු

වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක විරෝධතා ව්‍යාපාර වෙත සොෆ්ට්ලොජික් සමූහයේ සේවකයන් සහභාගිවීම වැළැක්වීම සඳහා එහි සභාපති අශෝක් පතිරගේ මහතා මැදිහත්වී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමූහය පවසයි.

ඊයේ දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනයක් නිකුත් කරමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මේ බව සඳහන් කර සිටියි.

“අපගේ සමූහයේ සභාපතිවරයාගේවත්, එම සමූහයට අයත් සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩලවත්, ඒවායේ කළමනාකාරීත්වයවත් සොෆ්ට්ලොජික් සමූහයේ (ආසිරි රෝහල් සමූහය සහ ඔඩෙල් ඇතුළත්ව) කිසිදු සේවකයෙකුට තමන්ගේ දේශපාලන මතය හෝ අදහස් දැක්වීමේ නිදහස සඳහා වන අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදු කළේ නැහැ.” එහි සඳහන්ව තිබේ.

ඒ අනුව මෙවැනි අවස්ථාවන් සඳහා සහභාගි වීම සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමක් වන බවත්, එවැනි අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කිසිදු අවස්ථාවකදීවත් සමූහයේ කිසිදු පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රාකාරව තර්ජනයක් එල්ල නොවුණු බවත් සමූහය වැඩිදුරටත් පවසා සිටියි.

එසේම රටෙහි මෙන්ම එහි ජනතාවගේද සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාගම් සමූහයක් ලෙස සොෆ්ට්ලොජික් සමූහය ගොඩනැගුණේ එහි නිර්මාතෘවරුන්ගේ සහ සේවකයන්ගේ දැඩි උත්සාහයෙන් සහ කැපවීමෙන් වන බවත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා වර්තමානයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

Visits: 262