සීනි බදු අඩු කිරීමෙන් අහිමි වූ ආදායම නැවත අය කරගන්න – ජාතික විගණන කාර්යාලය

සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම එම වාසිය ලබා ගත් පාර්ශ්වවලින් නැවත අය කරගත යුතු බව රජයට නිර්දේශ කර සිටින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2020 ඔක්තෝබර් 14 වැනිදා රජය ගත් තීරණයකට අනුව එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කෙරිණි. එහිදී පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීම රජයේ අපේක්ෂාව වුවත්, එසේ නොවී එය සීනි ආනයනය කළ ව්‍යපාරිකයන් වෙත ඉහළ ලාභයක් ලබාදුන් අවස්ථාවක් බවට පත් වූ බව මේ සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණනයේදී අනාවරණය වී තිබේ.

එසේම සීනි බද්ද අඩු කර ඔක්තෝබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව 2021 පෙබරවාරි 08 වැනිදා දක්වා මාස හතරක කාලය තුළදී පමණක් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇතැයිද මෙහිදී අනාවරණය කෙරී තිබේ.

මීට අමතරව එම මාස හතරක කාලය තුළ පමණක් ලංකා සතොස මගින් වරින්වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන අඩු මිලට විකිණීම තුළින් ලංකා සතොස රුපියල් මිලියන 102ක අලාභයක් වාර්තා කර ඇතැයිද පැවසෙයි.

විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළදී පමණක් පිරමිඩ් විල්මා සමාගමේ සීනි ආනයනය අසාමාන්‍ය ලෙස 1,222෴කින් ඉහළ ගොස් ඇති බවත් ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව මෙලෙස සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජය අපේක්ෂා කළ පාරිභෝගික සහන ලබාදීමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසි උදාකරගෙන ඇතැයිද විගණන කාර්යාලය අනාවරණය කර සිටියි.

Visits: 66