රජය සතු වත්කම් බදුදීමෙන් ඩොලර් බිලියන 11ක් රැස් කරගැනීමේ සැලසුමක්

දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින රජය ඉදිරියේදී තමන් සතු වාණිජමය වටිනාකමක් සහිත වත්කම් යම් කාලසිමාවක් සඳහා බදු දීම හරහා හෝ කොටස් හිමිකම් අලෙවි කිරීම් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 11ක මුදලක් රැස් කරගැනිමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.

අද දිනයේදී පළ කෙරුණු ඩේලි එෆ්ටී පුවත්පත මගින් මෙම කරුණු අනාවරණය කර සිටියි. එසේම ඊයේ දිනයේ පළ කෙරුණු සන්ඩේ ටයිම්ස් පුවත්පතද මේ හා සමාන පුවතක් වාර්තා කර තිබූ අතර, එහිදී රැස් කරගන්නා සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් ලෙස සටහන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් ඩේලිඑෆ්ටී පුවත්පත වෙත අදහස් දක්වා ඇති විශේෂඥයෙකු, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ණයබරතාව එක්සත් ජනපද ඩොලර් බිලියන 52ක් වන බවත්, රජය සතුව ඇති වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 520ක් වන බවත් පවසා සිටියි. ඒ අනුව රජයට අයත් ව්‍යවසායන් සතුව ඇති ඇතැම් ප්‍රාග්ධනයන් නිදහස් කිරිම හරහා මෙලෙස රජයට අවශ්‍ය විදේශ විනිමය රැස් කර ගත හැකිය යන්න අදහස වී තිබේ.

මෙහිදී හඳුනාගත් රාජ්‍ය ව්‍යවසායන් 12ක් සතු වත්කම් අලෙවි කිරීමක් හරහා මෙම ඩොලර් බිලියන 11 රැස් කරගැනීම සැලසුම වී ඇත.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිගු කාලීන කල්බදු අලෙවියක් හරහා ඩොලර් බිලියන 2ක්, කොළඹ වරාය උතුරු සංර්ධන ව්‍යාපෘතියයටතේ පර්යන්ත දෙකක් දිගු කාලීන කල්බදු පදනම මත ලබාදීම හරහා ඩොලර් මිලියන 600ක්, වරාය නගර භූමියේ ඉඩම් ඩොලර් බිලියන 2කට බදු දීම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අලෙවි කිරීම හරහා ඩොලර් මිලියන 500ක්, රත්මලාන ගුවන් තොටුපොළ දිගු කාලීන කල්බදු පදනම මත ලබාදීමෙන් ඩොලර් මිලියන 400ක්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කොටස් අලෙවියෙන් ඩොලර් මිලියන 300ක්, හම්බන්තොට ගුවන් තොටුපොළ දිගු කාලීන කල්බදු අලෙවිය හරහා ඩොලර් මිලියන 300ක්, අධිවේගී මාර්ග දිගු කාලීන කල්බදු අලෙවිය හරහා ඩොලර් බිලියන 2ක්, තැපැල් කාර්යාලය සතු වත්කම් අලෙවි කිරීම හරහා ඩොලර් මිලියන 200ක්, ලිට්‍රෝ ගෑස් සමාගමේ 100%ක කොටස් අලෙවිය හරහා ඩොලර් මිලියන 500ක් සහ කෙරවලපිටිය විදුලිබලාගාරය අලෙවියෙන් ඩොලර් මිලියන 250ක් යනාදී ලෙස මෙම  ඩොලර් බිලියන 11ක මුදල රැස් කරගැනීම සැලසුම වී තිබේ.

Visits: 374