CSE හි ගනුදෙනු තාවකාලිකව වසා දැමීම ගැන ලංකා වාණිජ මණ්ඩලයේ කණස්සල්ල

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු හෙට (අප්‍රේල් 18 වැනිදා) සිට ලබන සිකුරාදා (අප්‍රේල් 22) දක්වා දින පහක කාලයක් වසා දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි බියට පත්ව සිටින බව එම මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දස්වාමි මහතා පවසයි.

මෙම තීරණය ගත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා වෙත ලිපියක් යවමින් ලංකා වාණිජ මණ්ඩල සභාපතිවරයා මේ බව පවසා සිටියි. එසේම කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාටද එම ලිපියේ පිටපතක් යවා තිබේ.

මෙහිදී විශේෂයෙන්ම රට තුළ COVID-19 වසංගතයේ මුල් දින කිහිපයේදී කොටස් වෙළෙඳ පොළ වසා දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් එම මණ්ඩලය දැක් වූ කරුණු අනුව යමින්, මෙලෙස හදිසියේම වෙළෙඳ පොළ වසා දැමීමට ගෙන ඇති තීරණය හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද බොහෝ අභියෝගාත්මක අවස්ථාවන් ඇති වන බව සභාපතිවරයා කරුණු තුනක් යටතේ පෙන්වාදෙයි.

ඉන් පළමු වැන්න වන්නේ, ආයෝජකයන් අතරින් එක කණ්ඩායමක් (හැකියාව ඇති අලෙවිකරුවන්) සුදුසු කාලයේදී සහ මිල ගණන්වලදී පවා වෙළෙඳ පොළෙන් ඉවත්වීමෙන් වැළැකී සිටීමයි.

දෙවැන්න වන්නේ තවත් කණ්ඩායමක් වන (හැකියාව ඇති ගැනුම්කරුවන්) සුදුසු කාලයේදී සහ මිල ගණන්වලදී පවා අලුතින් කොටස් මිලදී ගැනීමෙන් වැළැකී සිටීමයි.

එසේම සියලුම ආයෝජකයන් වෙත සිය කොටස් හිමිකම් සම්බන්ධයෙන් වටිනාකම් තක්සේරුවක් සඳහා යාමට මෙන්ම සිය ආයෝජන කළඹ නිසි ලෙස පවත්වාගෙන යාමටද හැකියාවක් උදා නොවනු ඇතැයි යන්න තෙවැනි කරුණ වී තිබේ.

“වෙළෙඳ පොළ දර්ශක තුළ ඇති වන තියුණු පහළ වැටීම් වළක්වා ගැනීම සඳහා දැනටමත් පරිපථ කණ්ඩන (Circuit Breakers) ක්‍රියාත්මකව තිබියදී, මෙලෙස වෙළෙඳ පොළ වසා දැමීමට යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අපි විශ්වාස කරනවා. මේ හරහා සිදු වන්නේ ලොව පුරා සිටින සියලුම ආයෝජකයන්ට වැරැදි සංඥාවක් ලබාදීමයි. විශේෂයෙන්ම මෙම ක්‍රියාව වෙළෙඳ පොළ බලපෑම්වලට එරෙහිව විනිමය අනුපාත අවුරා තැබීමේ අසාර්ථක උත්සාහයක් ලෙස වෙළෙඳ පොළ ගනුදෙනුකරුවන්ට පෙනෙනු ඇත.” යනුවෙන් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගත් මෙම තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලීම් කරන බවත ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

එසේම මෙම අභියෝගාත්මක වෙළෙඳ පොළ තත්ත්වය මධ්‍යයේ වුවද කොළඹ කොටස් හුවමාරුවට නිදහසේ හැසිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත්, ඒහරහා ආයෝජක – මිත්‍රශීලී කොටස් හුවමාරුවක් ලෙස පවතින පිළිගැනිම ආරක්ෂා කරන ලෙසත් ලංකා  වාණිජ මණ්ඩල සභාපති විෂ් ගෝවින්දස්වාමි මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් පසුගිය අප්‍රේල් 15 වැනිදා එම කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස වෙළෙඳ පොළ ගනුදෙනු දින පහකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිය නිවේදනයක පවසා සිටියි.

විශේෂයෙන්ම දැනට රටෙහි උද්ගතව පවතින තත්ත්වය සලකා බලමින් මෙම තීරණය ගන්නා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර මීට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළුව වෙළෙඳ පොළ හා ගනුදෙනු සිදුකරන ආයතන කිහිපයක්ම මෙලෙස කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්කර තිබූ බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙම නිවේදනයේ සඳහන් කර තිබුණි.

Visits: 333