ලෝකයේ ලොකුම මුදල් අච්චු ගසන්නා – කවුද මේ DeLaRue?

වර්තමානයේදී වාණිජ මට්ටමින් ක්‍රියාත්මක ලොව විශාලතම මුදල් නෝට්ටු මුද්‍රණකරුවා ලෙස සැලකෙන්නේ එංගලන්තයේ බෙසින්ග්ස්ටෝක් නුවර මූලස්ථානය  කරගත් ඩි ලා රු (DeLaRue) සමාගමයි. එම සමාගම ලොව රාජ්‍යයන්, මහ බැංකු සහ මුල් පෙළේ වෙළෙඳනාම සඳහා වන ආරක්ෂිත මුද්‍රණ සේවා සම්පාදනයේ යෙදෙන ලොව පිළිගත් සමාගමකි.

බ්‍රිතාන්‍ය ජාතික ව්‍යවසායකයෙකු වූ තෝමස් ඩිලා රු මෙම සමාගමේ නිර්මාතෘවරයාය. කලක් මෙම සමාගම තෝමස් ඩිලා රු සහ සමාගම (Thomas De La Rue & Co.) යන නමින්ද හැඳින්වුණි. 1821 වසරේදී පිහිටවූ මෙම සමාගම මේ වසරට සිය 201වැනි උපන්දිනය සමරයි. DeLaRue සමාගම 1947 වසරේ සිට ලන්ඩන් කොටස් හුවමාරුවෙහිද ලැයිස්තුගතව සිටින සමාගමකි.

1821 වසරේදී ලන්ඩන් නුවරට පැමිණි තෝමස් ඩි ලාරු විසින් පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේපිදුරු යොදා ගනිමින් නිෂ්පාදනය කරන හිස්වැසුම් ව්‍යාපාරයකි. එම ව්‍යපාරය ‘ලෙග්හෝන්‘ ලෙස හැඳින්වී තිබේ.

පසුව ඔහු ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයෙකු සහ පසුව මුද්‍රණකරුවෙකු බවට පත්ව ඇත. ක්‍රමයෙන් ඔහු සිය මුද්‍රණ ව්‍යාපාරය දියුණු කරගත් අතර, 1855 දී පළමුවෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මුද්දර මුද්‍රණය කළේය. පසුව 1860දී ඔහු මුදල් නෝට්ටු මුද්‍රණයට යොමු වී තිබේ. ඩිලා රු සමාගම යටතේ පළමු මුදල් නෝට්ටුව මුද්‍රණය කෙරෙන්නේ මුරුසි රාජ්‍යය වෙනුවෙනි. ඒ 1896 වසරේදීය.

අද වනවිට එංගලන්තයේ හැම්ප්ෂයර්හි බෙසින්ග්ස්ටෝක් නුවර පිහිටි එම සමාගෙම් මූලස්ථානයට අමතරව එරට තුළ මෙන්ම ලොව පුරා ස්ථාන රැසකම De la Rue මුද්‍රණාල සහ අනෙකුත් ආරක්ෂිත මුද්‍රණ සේවා සම්පාදන ස්ථාන පිහිටුවා තිබේ.

ඒ අතරින් එසෙක්ස් ප්‍රාන්තයේ ඩෙබ්ඩෙන්, බෝල්ටන්හි වෙස්ට්තෝට්න් සහ ටයිනේ ඇන්ඩ් වෙයාර් පළාතේ ගේට්ස්හෙඩ් යනු එංගලන්තයේ පිහිටි මුද්‍රණාල වෙයි. එසේම මෝල්ටාවේ Zejtun හිද De la Rue මුද්‍රණාලයක් පිහිටුවා තිබේ.

උතුරු ඇමෙරිකාවේ උටාහ් හි ලොගාන් නුවර, ෆ්ලොරීඩාහි මියාමි නගරයේද De la Rue මුද්‍රණාල පිහිටුවා තිබේ. ඒ අතරින් මියාමි හි පිහිටි මුද්‍රණාලය ඇමෙරිකානු සහ කැරිබියානු කලාපයේ කලාපීය මධ්‍යස්ථානයද වෙයි. මීට අමතරව ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන්හිදීද තවත් මුද්‍රණාලයක් පිහිටා ඇත.

මේ අතර මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය වෙනුවෙන් De la Rue මුද්‍රණාල දෙකක් පිහිටා තිබේ. ඉන් එකක් එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරද, අනෙක කෙන්යාවේ නයිරෝබි නුවරද ස්ථාපිත කර තිබේ. කෙන්යාවේ පිහිටි මෙම මුද්‍රණාලය මගින් රටවල් 30කට වඩා වැඩි සංඛ්‍යාවකට මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහරියි.

2017 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වානේ බිහිටි ඩිලාරු සමාගමේ නිරීක්ෂණයක යෙදෙමින්. (ඡායාරූප – ඩේලිඑෆ්ටී)

ආසියා පැසිපික් කලාපය සඳහා වන එකම De la Rue මුද්‍රණාල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මල්වානේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන කලාප භූමියේය. ඒ හරහා ලොව රටවල් 30කට අධික සංඛ්‍යාවකට මුදල් නෝට්ටු මුද්‍රණය කරයි.

De la Rue සමාගම මගින් මුද්‍රණය කළ මෙරට සංසරණට එක් කර ඇති සෑම මුදල් නෝට්ටුවකම පිටුපස පැත්තේ පහළ කෙරළවක ඉතාමත් කුඩාවට De la Rue ලෙස සටහන් කර තිබේ.

Visits: 282