කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දින පහකට වසා දැමීමට SEC තීරණයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ගනුදෙනු කටයුතු අප්‍රේල් 18 (සඳුදා) සිට අප්‍රේල් 22 (සිකුරාදා) දක්වා දින පහක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එහි නියාමකයා වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පවසයි.

ඊයේ (16දා) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ පිළිබඳව දැනුම් දී සිටියි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් පසුගිය අප්‍රේල් 15 වැනිදා එම කොමිෂන් සභාවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස වෙළෙඳ පොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පවසයි.

විශේෂයෙන්ම දැනට රටෙහි උද්ගතව පවතින තත්ත්වය සලකා බලමින් මෙම තීරණය ගන්නා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර මීට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළුව වෙළෙඳ පොළ හා ගනුදෙනු සිදුකරන ආයතන කිහිපයක්ම මෙලෙස කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්කර තිබූ බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

මේ අතර පසුගිය අප්‍රේල් 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගින්ම එම දින දෙකද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සඳහා නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර, එම සතියේදීද වෙළෙඳ පොළ විවෘත කිරිමක් සිදු නොවුණි.

කෙසේ වෙතත් මෙම දින පහක කාලය තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි කාර්යාල සුපුරුදු ලෙස රාජකාරි සිදු කරනු ඇති බවත් එම හුවමාරුව දැනුම් දී සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදුවුණු පසුගිය අප්‍රේල් 08 වැනිදා දිනය නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,135.25ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 114.45කින් එනම් -1.39%ක පහත වැටීමකි. එසේම S&PSL දර්ශකය ඒකක 2623.90ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 44.47කින් එනම් -1.67%කින් පහත වැටීමක් ලෙස වාර්තාවී තිබේ.

Visits: 100