Fitch Ratings ශ්‍රී ලංකාවේ බැංකු 14ක ණය වර්ගීකරණය ඍණාත්මක දැක්මක් ලෙස නම් කරයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings ආයතනය මගින් අද දිනයේදී ශ්‍රී ලංකාවේ බැංකු 14ක ණය වර්ගීකරණය ඍණාත්මක අවධානමක් සහිත දැක්මක් (RWN – Rating Watch Negative) යටතට පත් කර ඇතැයි පවසයි.

ඒ අනුව මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, එන්ඩීබී බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යුනියන් බැංකුව, අමානා බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන සහ මූල්‍ය බැංකුව (HDFC) යන බැංකු 13 ක ණය වර්ගීකරණය මෙලෙස ඍණාත්මක දැක්මක් ලෙස වර්ගීකරණයට ඇතුළත් කර තිබේ.

එසේම අද පෙරවරුවේදී Fitch Rating ආයතනය මගින් ලංකා බැංකුවේ ණය වර්ගීකරණයත් Rating Watch Negative මට්ටමට පත් කර තිබුණි.

Fitch Ratings ආයතනය මගින් යම් කිසි ආයතනයක් සතු ණය ආපසු ගෙවීමේ හැකියාව අනුව මෙලෙස ණය වර්ගීකරණය සිදු කරන අතර,  එය ඍණ වර්ගීකරණයක් (Rating Negative) ලෙස නම් කිරීමට පෙරාතුව මෙලෙස Rating Watch Negative ලෙස නම් කිරිම සිදු කරයි. එසේම ණය වර්ගීකරණය යහපත් (Rating Positive) ලෙස නම් කිරීමට පෙරාතුව Rating Watch Positive ලෙස නම් කරයි.

මෙලෙස ණය වර්ගීකරණය ඍණාත්මක දැක්මක් ලෙස නම් කිරීම මගින් අදාළ බැංකු වෙත විදේශ විනිමය අරමුදල් සම්පාදනය කර ගැනීම සම්බන්ධයෙන් මෑත-කාලීන පසු බෑමේ අවදානම පෙන්නුම් කරන බවත්, රටෙහි බැංකු පද්ධතිය තුළ එම බැංකු අත්දකින ආතතිමය තත්ත්වයත් මින් පිළිබිඹු කරන බවත් Fitch Rating ආයතනය පවසයි.

මේ අතර, බැංකු මගින් ඇති කරගන්නා විදේශ අරමුදල් සම්පාදනය සහ ද්‍රවශීලතා මට්ටම් අනුව ඉදිරි මාස හයක කාලය තුළදී මෙම ණය වර්ගීකරණය ඍණ බවට පත් කිරීම මඟහරවා ගතහැකි වෙනු ඇතැයිද එම ආයතනය සඳහන් කරයි.

“දේශීය බැංකු මගින් සිය විදේශ මුදල් අරමුදල් සහ ද්‍රවශීලතා මට්ටම් තවදුරටත් දියුණු කරනීවි කියලා අපි විශ්වාස කරනවා. 2021 වසර අවසන් වනවිට මෙම දේශීය බැංකු සතුව ඩොලර් වටිනාකමින් තිබූ ණය සහ තැන්පතු ප්‍රමාණය සමස්ත ණය සහ තැන්පතු ප්‍රමාණයෙන් පිළිවෙලින් 18%ක සහ 17%ක ප්‍රතිශතයක් වුණා.” යනුවෙන්ද එම ආයතනය වැඩිදුරත් පවසා සිටියි.

Visits: 583