විදේශ විනිමය ප්‍රදානය කරන ලෙස මහ බැංකු අධිපති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය පියවීම සඳහා වන කඩිනම් විසඳුමක් ලෙස විදෙස් ගතව වෙසෙන ශ්‍රී ලාංකිකයන් තමන්ට හැකි උපරිමයෙන් විදේශ විනිමය ප්‍රදානය සඳහා ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතාගේ නමින් නිකුත් කෙරුණු නිවේදනයක් හරහා මෙම ඉල්ලීම සිදු කර තිබේ. ඒ අනුව මෙම අසීරු තීරණාත්මක අවස්ථාවේදී විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සිය උපන් රට වෙත දක්වන දායකත්වයක් ලෙස සලකා මෙලෙස විදේශ විනිමය ලබා දෙන ලෙස මහබැංකු අධිපතිවරයා පවසයි.

විශේෂයෙන්ම COVID-19 වසංගතය, ගෝලීය දේශපාලන අස්ථාවරත්වය, රට තුළ මූල්‍ය තත්ත්වය පිළිබඳව සිදු වූ අවප්‍රමාණය යනාදී කාරනා නිසා අද වනවිට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඒ හේතුවෙන් ජනතාවගේ එදිනෙදා ජීවිතය වෙත බලපෑම් එල්ල වී ඇතිබවත් මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් අද වනවිට රජය සිය ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම, මිත්‍ර රාජ්‍යයන්ගෙන් මූල්‍ය සහයෝගය ලබා ගැනීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් වන සුවිශේෂී වැඩසටහනක් සඳහා වන සාකච්ඡාද පවත්වමින් සිටින බවත් මහ බැංකුව සඳහන් කරයි.

එහෙත් මෙම පියවර මෙම අර්බුදය සඳහා මැදි සහ දිගුකාලීන පියවර වනු ඇති බවත්, කඩිනම් විසඳුමක් ලෙස මෙලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ප්‍රදාන බලාපොරොත්තු වන බවත් මහ බැංකු අදිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව එලෙස ලැබෙන ප්‍රදානයන් ලබා දීම සඳහා වන ජාත්‍යන්තර බැංකු හතරක් සහ ඒවායේ ගිණුම් අංක සහ SWIFT කේතනයන්ද මෙහිදී ප්‍රසිද්ධියට පත් කර ඇත.

එසේම මෙලෙස ලැබෙන මුදල් ප්‍රදානයන් රටට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ යන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පමණක් යොදවා ගන්නා බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මීට අමතරව මෙම මුදල් ලැබීම සහ ඒවා භාවිතා කිරීම සම්බන්දයෙන් විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරිමට කටයුතු යොදන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එහිදී අදාළ කමිටුව මගින් මෙම විදේශ මුදල් අරමුදළ වෙත ලැබුණු මුදල් සහ ඒවායේ ගිණුම් සම්බන්ධයෙන් කාර්තුමය වශයෙන් වාර්තාවක් සකස් කරනු ඇති බවත්, එය cbsl.gov.lk වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ.

Visits: 205