චෙන්නායිහි IT සමාගමක් සිය සේවකයන් 100 දෙනෙකුට මෝටර් රථ තෑගි කරලා

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි තොරතුරු තාක්ෂණ (IT) මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන Ideas2IT සමාගම සිය සේවකයන් 100 දෙනෙකු සඳහා තෑගි ලෙස මෝටර් රථ ලබාදීමේ පුවතක් එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණි.

එම සමාගමේ සාර්ථකත්වය සහ වර්ධනය වෙනුවෙන් එම සේවකයන් ලබා දුන් දායකත්වයට ස්තූති කිරීමක් ලෙස මෙම මෝටර් රථ තෑගි ලෙස ලබාදිම සිදුව තිබේ. ඒ අනුව මෙහිදී එම සේවකයන් 100 දෙනා සඳහා මරුටි සුසුකි මෝටර් රථ ලබා දුන් බව එම සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති Ideas2IT සමාගමේ අලෙවිකරණ ප්‍රධානී හරි සුබ්‍රමනියම් මහතා, “අපගේ සමාගමත් සමගින් වසර 10කට වඩා වැඩි කාලයක් සේවය කළ සේවකයන් 100 දෙනෙකු වෙනුවෙන් මෙලෙස මෝටර් රථ 100ක් ලබාදීම සිදු කෙරුණා. අද වනවිට අප සමාගම සේවකයන් 500 දෙනෙකුගෙන් ශක්තිමත් සමාගමක්. සමාගමක් ලෙස අප ලබා ගත් වර්ධනයේ ප්‍රතිලාභය සේවකයන් වෙත ලබාදීම තමයි අපේ සංකල්පය වෙන්නේ.” යනුවෙන් පවසා ඇත.

එසේම  Ideas2IT සමාගමේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වන මුරලි විවේකනන්දන් මහතා අදහස් දක්වමින්, මෙලෙස සිය සේවකයන් සඳහා මෝටර් රථ ලබා දීම ඔවුන් එම සමාගමේ දියුණුව වෙනුවෙන් ලබාදුන් දායකත්වය සඳහා ලබාදුන් ත්‍යාගයක් නොවන බවත්, ඒ සියල්ලම ඔවුන් විසින් සිය දැඩි කැපවීමෙන් උපයාගත් තෑගි බවත් පවසා තිබේ.

“දැනට වසර හත අටකට පෙරදී අපි කිව්වා අපේ ධනය සේවකයන් සමගින් බෙදා ගන්නවා කියලා. මේ විදියට මෝටර් රථ ප්‍රදානය කිරීම පළමු පියවරක් විතරයි. ඉදිරියේදී අපි මෙවැනි කටයුතු රැසක්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද ඔහු පවසා ඇත.

මේ අතර චෙන්නායි නුවරම පිහිටි තවත් මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන Kissflow සමාගමත් සිය ජ්‍යෙෂ්ට විධායක නිලධාරීන් 05 දෙනෙකු සඳහා BMW මෝටර් රථ තෑගි ලෙස ප්‍රදානය සිදු කර ඇති අතර, එම එක් රථයක වටිනාකම ඉන්දියානු රුපියල් කෝටියකට ආසන්න වන බවත් පැවසෙයි.

Visits: 120