අදානි සමූහයට එමීරයේ IHC සමාගමෙන් ඩොලර් බිලියන 2ක ආයෝජනයක්

ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියාවේ අදානි සමූහය වෙත එක්සත් අරාබි එමීරයේ IHC (International Holding Company) සමාගමෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක ආයෝජනයක් හිමිව ඇතැයි වාර්තා වෙයි. මෙහි වටිනාකම ඩිරාම් බිලියන 7.3ක් වන අතර ඉන්දියානු රුපියල් වටිනාකමින් කෝටි 15,400කි.

අදානි සමාගම අනාවරණය කරන ආකාරයට මෙහිදී එම සමූහයේ සමාගම් තුනක් වෙත එම ආයෝජනයන් හිමිවීමට නියමිතව ඇත. ඒ අනුව අදානි ග්‍රීන් එනර්ජි (AGEL) සමාගම වෙත ඉන්දියානු රුපියල් කෝටි 3,850ක්ද, අදානි ට්‍රාන්ස්මිෂන් සමාගම (ATL) වෙත ඉන්දියානු රුපියල් කෝටි 3,850ක්ද, අදානි එන්ටර්ප්‍රයිසස් (AEL) වෙත ඉතිරි කෝටි 7,700ත් ආයෝජනය කෙරෙන බව සඳහන් වෙයි.

මෙම ආයෝජන සම්බන්ධයෙන් එම සමාගම් අද දිනයේ වෙන වෙනම නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව සියලුම අනුමැතියන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ මුදල් මාසයක කාලයක් ඇතුළතදී හිමිවනු ඇති බව සඳහන් වෙයි. එසේම මෙම ප්‍රාග්ධනයන් එම සමාගම්හි ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා උපයෝගී කරගන්නා බවත්, සිය සමාගම්වල ශේෂපත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සාංගමික පොදු අවශ්‍යතා සඳහා එම මුදල් යොදවා ගන්නා බවත් එහි සඳහන් වෙයි.

මෙම ආයෝජන එකඟතාවත් සමගින්ම අද දිනයේදී ඉන්දියානු කොටස් හුවමාරුවේදී අදානි සමූහයේ අදානි ග්‍රීන් එනර්ජි හි කොටස් වටිනාකම් 8%කින්ද, අදානි ට්‍රාන්ස්මිෂන් හි කොටස් වටිනාකම් 6%කින්ද, අදානි එන්ටර්ප්‍රයිසස් හි කොටස් වටිනාකම් 6%කින්ද ඉහළයාම් සටහන්ව තිබේ.

Visits: 153